නව වාර්තා දෙකකින් පසුව කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය කල් යයි

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

647

2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනය වූ ඊයේ (09) රට පුරා ඇතිවූ අර්බුදකාරී තත්වය නිසාවෙන් ඉසව් කිහිපයක් පමණක් පවත්වා තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සිදු වුනා.

වසර දෙකක නිහැඬියාවෙන් පසුව ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (09) සිට බ්‍රහස්පතින්දා (12) දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භ කර පැය කිහිපයක් තුළ රටේ ඇති වූ අර්බුදකාරී තත්වය නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කළ අතර එම සිදුවීම නිසාවෙන් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

ඊයේ (09) උදෑසන පැවති 18න් පහළ බාලිකා රිටි පැනීම අවසන් තරගයෙන් මීටර් 3.15ක දස්කමක් දක්වමින් එම වයස් කාණ්ඩයේ ජාතික වාර්තාව බිඳ හෙළීමට චාවකච්චේරිය හින්දු විද්‍යාලයීය ක්‍රීඩිකා පී. අභිලාෂිනී සමත් වුනා.

එමෙන්ම එම වයස් කාණ්ඩයේ කාන්තා දුර පැනීම අවසන් තරග ද ඊයේ පැවැත්වීමට කටයුතු කර තිබූ අතර එහි දී මීටර් 5.98ක දස්කමක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට නෙත්මිකා මධුෂානි සමත් වුනා.

එම තරග ඉසව්වන්ට අමතරව තවත් ඉසව් කිහිපයක මූලික වටයේ තරග කිහිපයක් පැවැත්වීමට කටයුතු කිරීමෙන් පසුව තරගාවලිය නිල වශයෙන් කල් තැබුවා.

කෙසේ නමුත් රටේ වත්මන් තත්වය මත තරගාවලිය නැවත පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති නමුත්, එය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පැවැත්වීමට වැඩි සම්භාවිතාවක් ඇතැයි වාර්තා වනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<