සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන ජාත්‍යන්තර එක්දින තරගය හෙට (10) හම්බන්තොට සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.  මේ ThePapare.com විසින් ගෙන එන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගයේ පෙර විමසුමයි.

ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!

සිව්වැනි එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් අද්විතීය ලෝක වාර්තාවක් පවා බිහිකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් (08) පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු විය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලියේ එක්දින තරග 5න් 4ක් දැනටමත් අවසන් වී ඇත. එයින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී හා සිව්වන තරගයේ දී අනපේක්ෂිත හා අමිහිරි පරාජයයන්වලට මුහුණ දුන් අතර,  ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරගය ජයග්‍රහණය කරමින් මෙම තරගාවලිය 3-2ක් ලෙස අවසන් කළහොත්, එය 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල රුකුලක් වනු ඇත. එසේම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට නම් හෙට පැවැත්වෙන තරගය දෙපිළටම ඉතා වැදගත් වේ.

එසේම ඊයේ (8) පැවැත්වූ තරගය ජයග්‍රහණය කළේ නම්, හෙට පැවැත්වෙන තරගයට යම්  ආදේශ කරමින් නවකයින්ට තැනක් ලබා දීමට හැකිව තිබුණ ද, සිව්වන තරගයේ දී සියලුම විචාරකයන්ගේ මතය වූයේ නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප් වෙනුවට ආදේශ වනු ඇති බවයි. නමුත් ඒ මත සුනුවිසුනු කරමින් මෙවන් තීරණාත්මක තරගයක දී අත්දැකීම් බහුල නුවන් ප්‍රදීප් වෙනුවට යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට අවස්ථාව ලබා දීම ප්‍රේක්ෂකයන් මෙන්ම විචාරකයින් පවා මවිත කරවිය. තවද නුවන් ප්‍රදීප් යනු අත්දැකීම් බහුල දක්ෂ වේග පන්දු යවන්නෙකු වන අතර , එම ස්ථානය එක් වරම නවකයෙකුට දීම සුදුසු ද? යන ගැටලුව ඇතුළු ගැටලුකාරී තත්ත්ව රාශියක් නිර්මාණය කරමින් ඊයේ තරගය අවසන් විය.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 54ක් පවත්වා ඇති අතර, එයින් තරග 43ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායම සතු වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 9ක් පමණි. තවද එයින් තරග 2ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු

  • උපුල් තරංග

Upul Tharangaශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරමින් මැදපෙළ හෝ මුල්පෙළ හෝ පසුපෙළ සවිමත් කරවන මේ සුවිශේෂී වමත් පිතිකරුවා, ජාත්‍යන්තර එක්දින තරග 206ක් තුල ලකුණු 6206ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 34.47ක් වැනි හොඳ මට්ටමක තබා ගනිමිනි. උපුල් තරංගගේ ඉනිම මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 14ක්  අර්ධ ශතක 34ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. මෙම තරගාවලියේ  තරග 4ක දී නොදැවුනු ඉනිම තුනක් සමඟින් තරගාවලියේ ලකුණු 220ක් ලබාගෙන මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැන්නා බවට පත්වීමට තරංගට හැකියාව ලැබී ඇත.

  • ශෝන් විලියම්ස්

Williamsසිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන විලියම්ස්, ජාත්‍යන්තර එක්දින තරග 110කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 32.01ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන විලියම්ස් ලකුණු 2945ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 26ක් හා එක් ශතකයක් ලබාගෙන ඇත. එසේම මෙම තරගාවලිය තුල ඔහු දැනට ලකුණු 127ක් ලබාගෙන ඇති අතර, පන්දු යැවීමෙන් කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වී ඇත.

  • දනුෂ්ක ගුණතිලක

Danushka Gunathilaka to replace injured Chamara Kapugedaraශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාවට නිරෝෂන් දික්වැල්ල හා එක්වෙමින් ආලෝකය ලබා දෙන වයස අවුරුදු 26ක් වන මේ යොවුන් ක්‍රීඩකයා, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 25කට තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 780ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 32.50ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. තවද ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක 6ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, මෙම තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා ලෙස සනිටුහන් වන දනුෂ්ක තරග හතරක් තුල ලකුණු 271ක් ලබාගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක 2ක් සමඟිනි.

  • හැමිල්ටන් මසකඩ්සා

Mazacadsaසිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කලක පටන් තම වගකීම් ඉටු කළ මොහු, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 177ක් ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 4950ක් ලබාගෙන ඇත්තේ ලකුණු 28.77ක පමණ සාමාන්‍ය මට්ටමේ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. මසකඩ්සාගේ එම ලකුණු අතරට ශතක 5ක් හා අර්ධ ශතක 30ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරුවීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මසකඩ්සාව හැඳින්වීමට හැකිය. මෙම තරගාවලිය තුල සිම්බාබ්වේ කණ්ඩායම  වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති මොහු තරග හතරක් තුල ලකුණු 185ක් ලබාගෙන ඇත.

ප්‍රබල පන්දු යවන්නන්

  • අසේල ගුණරත්න

Aselaසෑම විටම සිනහමුසු මුහුණකින් ක්‍රීඩා කරන මේ සොඳුරු තුන ඉරියව් දකුණත් මඳ වේග පන්දු යවන්නා, එක්දින ජාත්‍යන්තර තරග 20ක දී කඩුලු 17ක් දවා ගැනීමට සමත් වී ඇත. 31.52ක මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ගුණරත්න, පන්දුව පහසුවෙන්ම දෙපසටම දෝලනය කිරීමට උපන් හපනෙකි. හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 10කට කඩුලු 3ක් සටහන් කරගෙන ඇති ගුණරත්න සාමාන්‍යයෙන් පිතිකරුවන්ට එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 4.96ක් පමණක් ලබා දී ඇත.

  • මොල්කොලොම් වොලර්

Volerතුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම පිට දඟපන්දු යවන්නෙකු ලෙස සිම්බාබ්වේ පන්දු බලඇණිය සවිමත් කරන වොලර්, තරග 69ක දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 54.88ක් ලෙසින් දක්වන මොහු එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 5.14ක පමණක් ලබා දී ඇත. හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 44කට කඩුලු 2ක් දවා ගැනීම සනිටුහන් වී ඇත. මෙම තරගාවලියේ තරග හතරක් තුල කඩුලු 3ක් දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු දවා ගැනීමේ නාමාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට වොලර් සමත් වී ඇත.

  • වනිඳු හසරංග

wanidu-Hasarangaදකුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක වනිඳු හසරංගගේ පන්දු හමුවේ පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දෙයි. ඒ ඔහුගේ  අපූරු පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. වනිඳු ජාත්‍යන්තර එක්දින තරග පිටියට නවක තරුවක් වන නමුත් පන්දු යැවීමේ දී තරග 3ක දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් ව ඇති අතර, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 6.31ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 15කට කඩුලු 3ක් ලබා ගැනීම ක්‍රිකට් ඉතිහාස පොතේ සඳහන් වී ඇත්තේ තම මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ලාංකිකයා ලෙස ද වාර්තා පොත් අතර තම නාමය සටහන් කරමිනි.

  • ටෙන්ඩායි චාටාරා

Chataraදකුණත් වේග පන්දු යවන්නෙකු ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන චටාරා ජාත්‍යන්තර එක්දින තරග 40ක දී කඩුලු 54ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 30කට කඩුලු 3ක් දවා ගැනීම කණ්ඩායමකට එදිරිව හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති චාටාරා එක් පන්දුවාරයකට දළ වශයෙන්  ලකුණු 5.18ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. මෙම තරගාවලිය තුල දැනට කඩුලු 4ක් දවා ගැනීමට මොහු සමත් වී ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

සූරියවැව තණතිල්ල හා පිටිය

මෙම සුවිසල් මනරම් ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 35,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වී ඇති අතර, දෙපිළම එක් තරගය බැගින් ජයග්‍රහණය කර හමාරය.

තවද, ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී  එක්දින ජාත්‍යන්තර තරග 15කට මුහුණ දී ඉන් තරග 8ක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම ද මෙහි දී එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇත.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි. කෙසේ වෙතත් නිමා වූ තරගයේ දී, විචාරකයන් පැවසූවේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම නිසැකවම පළමුව පන්දු යවන බවයි. නමුත් ඊයේ (8) අවසන් වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ වෙනස්ම ආකාරයේ තීරණයකි.

ඊයේ තරගයේ දී ප්‍රබල සාධකයක් වූ කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇති නමුත් උදෑසන කාලයේ තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 17-22ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර, 32°C – 36°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (ජූලි 6) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 4758ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92ක් සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 1852ක් හා ප්‍රසාද ලකුණු 47ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන කල පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, දුශ්මන්ත චමීර

සිම්බාබ්වේ  – ග්‍රැහැම් ක්‍රෙමර් (නායක), හැමිල්ටන් මසකඩ්සා, මොල්කොලොම් වෝලර්, ටෙන්ඩායි චාටාරා, පීටර් මුවර්, ශිකන්ඩර් රාසා, ශෝන් විලියම්ස්, ක්‍රෙයිග් ඒර්වින්, සොලමන් මීරේ, ටරාසායි මුස්කන්ඩා, ක්‍රිස් මොපෆු

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට