උෂාන්ගෙන් තවත් සුපිරි පිම්මක්

244
Ushan Thiwanka

ටෙක්සාස් නුවර පැවති තරගයකට සහභාගී වූ ශ්‍රී ලාංකික උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා එහි පිරිමි උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (29) අලුයම පැවති මෙම තරගයේ දී උෂාන් මීටර් 2.20ක දස්කමක් දැක්වීමට සමත්ව තිබූ අතර එම දස්කම සමඟින් එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ facility වාර්තාව බිඳ හෙළීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්. මීට පෙර එම වාර්තාව ලෙස සටහන් වුනේ මීටර් 2.15 දස්කමක්.

මෙම තරගයේ දෙවැනි ස්ථානය මීටර් 2.14ක දස්කමක් දැක්වූ Justin Lewis හට හිමි වූ අතර මීටර් 2.11ක දස්කමක් පෙන්නුම් කළ Micky Ferdinand තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

උස පැනීම ඉසව්වේ පසුගිය කාලසීමාවේ දී ඉහළ දස්කම් දැක්වූ උෂාන් තිවංක එම ඉසව්වේ ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට පසුගිය වසරේ සමත් වුනේ මීටර් 2.30ක දස්කමක් දක්වමිනුයි.

එයට අමතරව ඇමරිකානු විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා පිටියෙහි ඉහළ දස්කම් දැක්වූ ඔහු උස පැනීම ඉසව්වෙන් ලොව හොඳම දස්කම් අතර සිටීමට සමත් වුනා.

එම දස්කම් නිසාවෙන් උෂාන් තිවංකව මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් කිරීමට ද කටයුතු කර තිබූ අතර එම තරගාවලිවල විශාල පදක්කම් බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩකයෙක් ලෙස ද උෂාන් හැඳින්විය හැකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<