කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සියල්ල සූදානම්

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

438

ජාතික මලල ක්‍රීඩා පිටියේ කනිෂ්ඨ ශූරයින් කිරුළු පලඳින කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තරග කාලසටහන ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් වසර කිහිපයක් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීමට නොහැකි වූ අතර මෙවර තරගාවලිය මැයි 09 සිට 12 දක්වා දින හතරක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් තරග වදින මෙම තරගාවලිය අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ යන වයස් කාණ්ඩවලට යටත්ව පැවැත්වෙනවා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් අවුරුදු 23න් පහළ පිරිමි මීටර් 10,000 සහ කාන්තා මීටර් 5000 යන ඉසව් පැවැත්වීමට නියමිත අතර පළමු දිනය වැඩි වශයෙන් වෙන්ව ඇත්තේ මූලික වටයේ තරග සඳහායි.

දෙවැනි දිනයේ දී සියලුම වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි මීටර් 800 සහ 400 කඩුලු පැනීමේ අවසන් තරග පැවැත්වීමට නියමිත අතර එදිනම දුර පැනීම සහ උස පැනීම ඉසව් හි අවසන් තරග කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

තෙවැනි දිනයේ බොහෝ ඉසව්වල මූලික වටයේ සහ අවසන් පූර්ව වටයේ ඉසව් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එදින වයස් කාණ්ඩ කිහිපයක රිටි පැනීම, තුන් පිම්ම පැනීම ඉසව්වන්හී අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම්ම දිනය වන 12 වැනිදා සියලුම වයස් කාණ්ඩවල මීටර් 100, 400 සහ 1500 යන ඉසව්වන්හී අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

වයස් කාණ්ඩ රැසක් ආවරණය කරමින් පැවැත්වෙන නිසා මෙම තරගාවලියට විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතව ඇති අතර ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන චමෝද් යෝධසිංහ, තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත බව වාර්තා වෙනවා.

2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<