ආසියානු සහ පොදුරද මඩුලු යන මලල ක්‍රීඩා සංචිත නම් කරයි

556

2022 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ තරගාවලි වන ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත, මලල ක්‍රීඩා සංගමය විසින් ජාතික තේරීම් කමිටුව වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා.

ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය කාලසීමාවේ දී දැක්වූ දස්කම් සහ නිමා වූ ජාතික තේරීම් තරග සහ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ක්‍රීඩික ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සලකා බලා මෙම සංචිත නම් කර තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර ඇති නමුත් මෙවර තරගාවලියට කිසිදු සහය දිවීමේ කණ්ඩායමක් නම් නොකිරීම විශේෂත්වයක්.

එම සංචිතය සඳහා අවශ්‍ය පරිසාධන සුදුසුකම් සපුරාලමින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ, කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් සහ උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක සුදුසුකම් ලබා ඇති අතර පරිසාධන සීමාව වූ තත්පර 45.70 පසු කිරීමට අසමත් වූවත් එයට ආසන්න කාලයක් (තත්පර 45.88) වාර්තා කළ මීටර් 400 ජාතික ශූර කාලිංග කුමාරගේ ද මෙම සංචිතයට ඇතුළත්.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නම් කළ සංචිතයට දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා, මැදිදුර ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න, මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක සහ ඇමරිකාවේ වාසය කරන මැරතන් ක්‍රීඩිකා හිරුණි විජයරත්න ඇතුළත් කර තිබෙනවා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 27 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පෙර ප්‍රකාශ කළ පරිදි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික තේරීම් කමිටුව වෙත යොමු කර තිබුණා.

එම තරගාවලිය සඳහා ඉතිහාසයේ පළමු වරට මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමක් නම් කර ඇති අතර එම කණ්ඩායමට අමතරව පිරිමි මීටර් 4×400 කණ්ඩායමක් සහ වසර දහයකට පසු කාන්තා මීටර් 4×100 කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලක් සඳහා නම් කර තිබීම කැපී පෙනුණා.

එම තරගාවලියට නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා විශාලතම පදක්කම් බලාපොරොත්තුව ලෙස හැඳින්විය හැකියි. ඇයගේ හොඳම දස්කම වන මීටර් 6.65ක දස්කම පසුගිය ආසියානු ක්‍රීඩා උළෙල සමඟ සැසඳීමේ දී රන් පදක්කමක මට්ටමේ තිබීම විශේෂත්වයක්.

ඇයට අමතරව මීටර් 800 සහ 1500 ඉසව්හි ජාතික වාර්තා බිඳ හෙලූ ගයන්තිකා අබේරත්න පදක්කමක් දිනා ගත හැකි දස්කම් මට්ටමේ සිටින අතර උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක ද ආසියානු පදක්කමක් දිනා ගත හැකි මට්ටමේ සිටින ක්‍රීඩකයෙක්.

එමෙන්ම කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ මැරතන් ක්‍රීඩිකා හිරුණි විජයරත්න ද පසුගිය කාලයේ දී දැක්වූ දස්කම් අනුව පදක්කම් බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකියි.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තුන් පිම්ම පැනීමේ ක්‍රීඩක චමල් කුමාරසිරි, මීටර් 110 කඩුලු පැනීමේ ක්‍රීඩක රොෂාන් ධම්මික සහ ඇමරිකාවේ වාසය කරමින් පසුගිය කාලසීමාවේ දස්කම් දැක්වූ දුර පැනීමේ ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ විශාල බලාපොරොත්තුවක් සහය දිවීමේ කණ්ඩායම් වෙනුවෙන් තබා ගත හැකි අතර කාන්තා මීටර් 4×100 කණ්ඩායම සඳහා අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත්.

පළමු වරට නම් කළ මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ සංචිතය සඳහා කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක ඇතුළත් අතර ඔවුන්ගේ දස්කම් සලකා බැලීමේ දී මෙම කණ්ඩායම විශාල බලාපොරොත්තුවක් තබා ගත හැකි කණ්ඩායමකි.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 4×400 තරගය සිව්වැනි ස්ථානයෙන් අවසන් කිරීමෙන් පසුව මෙවර ක්‍රීඩා උළෙල සඳහා ද හොඳ කණ්ඩායමක් නම් කර ඇති අතර ඒ සඳහා කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන හැරුනු කොට පබසර නිකූ, ඉසුරු ලක්ෂාන් සහ වී. දේශාන් ඇතුළත් කර තිබෙනවා.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතය

  • පිරිමි: සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), යුපුන් අබේකෝන් (මීටර් 100), උෂාන් තිවංක (උස පැනීම), කාලිංග කුමාරගේ (මීටර් 400).
  • කාන්තා: සාරංගි ද සිල්වා (දුර පැනීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), හිරුණි විජයරත්න (මැරතන්).

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ සංචිතය

  • පිරිමි: සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), යුපුන් අබේකෝන් (මීටර් 100), උෂාන් තිවංක (උස පැනීම), කාලිංග කුමාරගේ (මීටර් 400, මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම), ධනුෂ්ක සඳරුවන් (දුර පැනීම), අරුණ දර්ශන (මීටර් 4×400, මීටර් 4×400 මිශ්‍ර), පබසර නිකූ (මීටර් 4×400), ඉසුරු ලක්ෂාන් (මීටර් 4×400), වී. දේශාන් (මීටර් 4×400).
  • කාන්තා: සාරංගි ද සිල්වා (දුර පැනීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ 1500), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම), තරුෂි කරුණාරත්න (මීටර් 4×400 මිශ්‍ර), නදීෂා රාමනායක (මීටර් 4×400 මිශ්‍ර), අමාෂා ද සිල්වා (මීටර් 4×100), රුමේෂිකා රත්නායක (මීටර් 4×100), ශෙලින්ඩා ජැන්සන් (මීටර් 4×100), මේධානි ජයමාන්න (මීටර් 4×100), ලක්ෂිකා සුගන්ධි (මීටර් 4×100).

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<