උෂාන්ගේ ජයග්‍රහණ මල්ලට තවත් එකක්

Lone Star Conference Outdoor Championship

345
Ushan Perera Won High jump in Long Star Conference

ශ්‍රී ලංකා වේලාවෙන් අද (07) උදෑසන පැවති උස පැනීමේ තරගයක් ජයග්‍රහණය කරමින් සිය ජයග්‍රාහී ආධිපත්‍යය එලෙසම රඳවා ගැනීමට උස පැනීමේ ශූර උෂාන් තිවංකට හැකි වුනා.

ඇමරිකාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයීය තරගාවලියක් වන Lone Star Conference Outdoor Championship තරගාවලියේ උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ඔහු එය ජය ගත්තේ මීටර් 2.20ක දස්කමක් දක්වමිනුයි.

තරගයේ දෙවැනි ස්ථානය මීටර් 2.11ක දස්කමක් දැක්වූ Justin Lewis විසින් දිනා ගනිද්දී, මීටර් 2.08ක දස්කමක් දැක්වූ Dakari Hill තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන සෙනිරු අමරසිංහ ද මෙම තරගයට සහභාගී වූ අතර ඔහුට පසුකිරීමට හැකි වුනේ මීටර් 2.00ක උසක් පමණයි.

මෑත කාලයේ දී වඩාත්ම කතාබහට ලක්වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන උෂාන් අවසන් වරට සහභාගී වූ තරගාවලියේ දී මීටර් 2.20ක දස්කමක් දක්වමින් නව facility වාර්තාවක් සමඟ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30ක දස්කමක් දක්වමින් එහි ජාතික හා දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට ද උෂාන් පසුගිය වසරේ සමත් වූ අතර එම වසරේ පැවති ඇමරිකානු විශ්වවිද්‍යාල තරගාවලි රැසක දී ම උස පැනීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට උෂාන්ට හැකි වුනා.

මෑත කාලයේ දී උස පැනීම ඉසව්වෙන් ජාත්‍යන්තර මට්ටමේ දස්කම් අතර සිටීමට උෂාන්ට හැකි වීම නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට උෂාන් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<