එංගලන්ත නායකයා වැස්ස ගැන කනස්සල්ලෙන්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

267

ඊයේ (28) ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමීම පිළිබඳ කලකිරීමක් ඇති වුවත්, පැවතුණු තත්වය අනූව එම තීරණය තේරුම් ගත හැකි එකක් බව එංගලන්ත නායක Jos Buttler ප්‍රකාශ කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මුණ ගැසීමට නියමිතව තිබූ තරගය වර්ශාව හේතුවෙන් අත් හැර දැමීමට තීරණය කළා. එම තීරණය නිවැරදි එකක් බවත්, පිටියේ තත්වය ක්‍රීඩා කිරීමට තරම් නොවූ බවත් එංගලන්ත නායකයා විසින් ප්‍රකාශ කර සිටියා.

මෙය එංගලන්තය පැත්තෙන් බැලූ කල ඔවුන්ට වර්ෂාවෙන් බාධාවක් ඇති වූ දෙවැනි තරගයයි. ඊයේ දිනයේ එකදු පන්දුවක් හෝ නොයවා අත් හැර දැමුණු තරගයට අමතරව, ඔවුන්ට ඊට පෙර Duckworth–Lewis න්‍යාය මගින් අයර්ලන්තය හමුවේ ද තරග පරාජයක් විඳීමට සිදු වුනා.

“ඔවුන්ට (විනිසුරුවන්ට) ගොඩක් සැලකිලිමත් වෙන්න සිදු වුනා, මම හිතන්නේ ඒක හරි. පිටත පිටිය තෙත බරිත වෙලා තිබුණේ, යාර 30 සීමාව ඇතුළේ සමහර තැන් පවා ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නෙවෙයි තිබුණේ. අපිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය තරමටම, එය ආරක්ෂාකාරී විය යුතුයි. අනිවාර්‍යෙන්ම ඒ ආරක්ෂාකාරී බව එතන තිබුණේ නැහැ.

මම හිතන්නේ එහි පන්දු යවන්න සිදු වෙන සෑම පන්දු යවන්නෙක්ටම සැලකිලිමත් වෙන්න දේවල් තිබුණා. ක්‍රීඩකයාගේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් දෙයක්, එතන අපේ පන්දු යවන්නන්ට වගේම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ටත් ක්‍රීඩා කිරීමට සුදුසු වටපිටාවක් නෙවෙයි තිබුණේ. මම හිතන්නේ ඒ ගත්තු තීරණය නිවැරදි එකක්,” යනුවෙන් Buttler ඊයේ තරගය අත් හැර දැමීම පිළිබඳ පවසා සිටියා.

මෙම තරගයට පෙර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණු ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත තරගය ද වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුනා.

මෙම වසරේ මෙල්බර්න් වලට බලාපොරොත්තු නොවූ අන්දමේ වර්ෂාවක් ඇද හැලෙන අතර, මෙය සාමාන්‍යයෙන් සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරග ආරම්භ වන කාළසමයක් ද වනවා.

මේ අතර මෙම වර්ෂාව එංගලන්ත කණ්ඩායමේ අවසන් පූර්ව වටයට යාමේ මාර්ගය තවත් අසීරූ කරනවා දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් Buttler කියා සිටියේ,

“මට කිසිම කලකිරීමක් නැහැ, මම කාලගුණ විශ්ලේෂකයෙක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ මේ කාලයේ ඇති වෙලා තියෙන තත්වය ගැන කියන්න තරම්. නමුත් අපි හැමෝමට අවශ්‍ය සම්පූර්ණ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න.

සාමාන්‍යයෙන් අපි ක්‍රීඩා කරන්නේ එළිමහනේ, ඒවගේම එළිමහනේ පවතින තත්ව අපේ ක්‍රීඩාවට විශාල බලපෑමක් එල්ල කරනවා. එයින් අපි ක්‍රීඩා කරන තණතිල්ලට බලපෑමක් ඇති වෙනවාඅපි නොහිතන විදිහේ බලපෑම් පවා ඇති කරවනවා. ඒ වගේ දේවල් නිසා තමයි අපේ ක්‍රීඩාව ගොඩක් විශේෂ එකක් වෙන්නෙත්.

නමුත් දැන්, අවාසනාවන්ත විදිහට අපේ තරග දෙකකටම වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ විදිහේ තරග ක්‍රීඩා කරන්න කවුරුත් කැමති නැහැ. නමුත් ලෝකේ කොහේ ක්‍රීඩා කළත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<