2023 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම ආරම්භ වේ

LPL 2023

826

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි අදියර වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මගින් නිවේදනය කර තිබෙනවා.

මෙම වසරේ ජුලි මස 30 සිට අගෝස්තු මස 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත LPL මීළඟ අදියරට සහභාගී වීමට කැමති විදෙස් ක්‍රීඩකයින්ට Capped සහ Uncapped යන කාණ්ඩ දෙක යටතේ පහත සබැඳියෙන් ලියාපදිංචි වීමට හැකියාව තිබෙනවා.

Capped කාණ්ඩය

ක්‍රීඩකයකු විසින් අවම වශයෙන් එක් ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස තරගයක දී සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට ඇතුළත් වී ඇති නම් ඔහු Capped ක්‍රීඩකයකු ලෙස සලකනු ලබනවා.

Uncapped කාණ්ඩය

යම් ක්‍රීඩකයකු සිය රට නියෝජනය කර නොමැති නමුත්, පළමු පෙළ තරග ක්‍රීඩා කර ඇති නම් හෝ ICC පූර්ණ/ ආශ්‍රිත (Associate) සාමාජික රටක අනුමැතිය ලත් විස්සයි විස්ස ලීගයක ක්‍රීඩා කර ඇති නම් ඔහු Uncapped ක්‍රීඩකයකු ලෙස සලකනු ලබනවා.

හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

එමෙන් ම ICC පූර්ණ/ආශ්‍රිත සාමාජික රටක අනුමැතිය හිමි වූ විස්සයි විස්ස ලීගයක ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද මෙම සබැඳිය හරහා මෙවර තරගවාරයට ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වනවා.

2023 මැයි මස 25 වැනි දා දහවල් 12.00 දක්වා ක්‍රීඩකයින්ට මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

අන්තර්ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක ම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන LPL තරගාවලියේ 2023 තරගවාරයේ උණුසුම ඔබ හා බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<