“කෝලි දැන් T20 වලින් සමුගන්නවා නම් මම කැමතියි” – Shoaib Akhtar

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2604

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්.

ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා. මෙහි දී පාකිස්තානයට එරෙහිව ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු හතරක ජයක් හිමි කරගැනීමට සමත් වූ අතර පාකිස්තානය ද ඉතාමත් හොඳ තරගයක් ඉන්දියාවට ලබා දීම අගය කළ යුතු කරුණක්.

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් ද සිය YouTube නාලිකාව හරහා එම තරගයේ පාකිස්තාන කණ්ඩායමේ දස්කම් පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කළා.

පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන Babar Azam සහ Mohammad Rizwanගේ ඉක්මන් දැවී යාමෙන් අනතුරුව ඉනිම ස්ථාවර කළ Iftikhar Ahmed සහ Shan Masoodගේ පිතිකරණය පැසසුමට ලක් කළ Akhtar, ඉන්පසුව ඉන්දීය ඉනිමේ මුල් කඩුලු හතර ලකුණු 31ක් වන විට දවා ගැනීමට සමත් වූ Haris Rauf සහ Naseem Shahව ද පැසසීමට ලක් කළා.

“පාකිස්තානය ඉතාම හොඳින් ක්‍රීඩා කළා, වැටෙන්න එපා. ඔබ හැමෝම ඉතාම හොඳින් තරග කළා. ඉන්දියාවත් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ඉතිහාසයේ හොඳම තරග වලින් එකක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.”

“එය පරිපූර්ණ ලෝක කුසලාන තරගයක්. උඩපන්දු අත් හැරීම්, නිපන්දු, දුවද්දී දැවී යාම්, මතබේදාත්මක තීරණ, ස්ටම්ප් කිරීම් වැනි හැම දෙයක්ම තිබුණු තරගයක්.”

“දැනුයි ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා මුණගැහෙන විට දී.

තරගාවලියේ පසු බාගයේ දී පාකිස්තානයට නැවත ඉන්දියාව මුණ ගැසේවි.”

මේ අතර Akhtar විසින් ඉරිදා (23) සන්ධ්‍යාවේ තරුව වූ Virat Kohliගේ පන්දු 53කින් රැස් කළ ලකුණු 82ක අග්‍රගණ්‍ය ඉනිම පිළිබඳව ද ප්‍රශංසාත්මකව කතා කළා. බොහෝ දෙනෙකු මෙය Kohliගේ විශිෂ්ඨතම විස්සයි විස්ස ඉනිම ලෙස සඳහන් කර ඇති අතර ඒ අතරින් Kohli පසුගිය කාලයේ ඔහුගේ අසාර්ථකම කාලයේ පවා Kohli වෙනුවෙන් හඬ නැගූ Akhtar විසින් පවසා සිටියේ මෙය Kohliගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම දක්ෂතාවය බවයි.

“ඔබ පහතට වැටී සිටින විට ඔබේ ආත්ම විශ්වාසයට පණ දිය යුතු අතර විශ්වාසය තහවුරු වන විට ඔබේ චරිතය ස්ථාපිත වෙයි. Virat Kohli යනු එවැනි ලෙස සිය චරිතය නැවත ස්ථාපිත කර ගත් අයෙක්.”

“ඔහු තමන්ගේ ක්‍රීඩා දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළේ. ඔහුට එම ඉනිම දියත් කළ හැකි වූයේ ඔහු සතුව තිබූ ආත්ම විශ්වාසය නිසා.”

Akhtar විසින් තවදුරටත් මෙම සුපිරි පිතිකරුවාගේ නැවත ආගමනය පිළිබඳ මෙසේ සඳහන් කළා.

“ඔහු නැවතත් ලොකු පෙරළියක් සමඟින්ම නැගී සිටියා. මම කැමතියි දැන් ඔහු විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගන්නවා දකින්න. මොකද ඔහුගේ සම්පූර්ණ ශක්තිය විස්සයි විස්ස පිටිය වෙනුවෙන් යොදවනවා දකින්න මම කැමති නැහැ. එදා (23) දක්වපු කැපවීමට සමාන කැපවීමකින් ඔහුට එක්දින තරග තුනක ශතක රැස් කරන්න පුලුවන්.”

දවසින් දවස උණුසුම් වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<