එංගලන්ත ආරම්භක පිතිකරු භූමිකාවේ වෙනසක්; ප්‍රබලයෙකු ඉවතට!

217

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවන ජේසන් රෝයිගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව එංගලන්ත කණ්ඩායම් කළමනාකාරිත්වය අද (28) සඳහන් කර සිටියා.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින රෝයිගේ ඉණෙහි වම් පෙදෙසෙහි මාංශපේශීය ඉරීයාම නිසාවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී යාමට වැඩි ඉඩකඩක් පවතින ඔවුන් එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තවත් ක්‍රිකට් පුවත්: 

එක්දින තරගාවලිය ඉලක්ක කරගනිමින් මැන්චෙස්ටර් හී පැවති පුහුණු සැසිවාරයක් අතරතුර දී ඔහු මෙසේ ආබාධයට ලක්වී ඇති අතර බදාදා (26) දිනයේ දී සිදු කළ ස්කෑන් පරීක්ෂාවෙන් අනතුරුව ඔහුගේ ඉණෙහි වම් පස මාංශපේශීය සුළු ඉරී යාමකට ලක්වී ඇති බව තහවුරු විය.

රෝයිගේ වත්මන් සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ඉදිරිපත් කර සිටි එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශකොට සිටියේ ඕස්ට්‍රේලියාව සමඟ සැප්තැම්බර් මස ආරම්භයේ දී ක්‍රියාත්මක වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා රෝයිගේ දායකත්වය ලබාගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බවයි.

තවද පාකිස්තානයට එරෙහිව නම්කොට ඇති එංගලන්ත සංචිතය සමඟින් තවදුරටත් එකට කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට සලසා දෙන බවත්, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව යලි සම්පූර්ණයෙන්ම ගොඩනඟා ගන්නා තුරු ඊට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් නිරන්තරයෙන් ලබා දීමට තම ක්‍රීඩා වෛද්‍ය කණ්ඩායම කැප වී කටයුතු කරන බවත් ඔවුහු අවධාරණය කර සිටියහ.

තරග තුනකින් සමන්විත එංගලන්ත-පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (28) මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<