ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඇහුම්කන් දෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

367

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය පෙර පරිදි ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත නව සැලසුමක් ඉදිරි පත් කර ඇත.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසුව දින 14ක නිරෝධායන කාලයක් පසුකළ යුතුම බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණේ ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව වුවත් බංග්ලාදේශය ඒ සඳහා සිය අප්‍රසාදය පළ කර ඇත්තේ, එම සති දෙකක කාලය තුල ඔවුන්ට ඔවුන්ගේ පුහුණුවීම් හෝ කර ගැනීමට අවස්ථාව නොලැබෙන නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

එයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට යෝජනා කළ නව සැලසුමට අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංග්ලාදේශයේ දී දින 7ක අනිවාර්ය නිරෝධායන කාලයක් පසුකළ යුතු අතර පසුව මෙරටට පැමිණ දින 7ක නිරෝධායන කාලයක් අවසන් කර කෙසේ හෝ දින 14ක නිරෝධායන කාලයක් සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශය වෙත දන්වා ඇත. 

නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සැලසුම ගැන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත පැවසීමට පෙර මෙරට සෞඛ්‍ය අංශවලින් විමසීමක් කර නොමැති බව ද වාර්තා වේ.

දැනට සැලසුම් කර තිබෙන තරග කාලසටහන අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ සසඳා බලන විට ඉතාමත් හොඳින් කොරෝනා වසංගත පාලනය කර තිබෙන මොහොතක, මෙරට තුළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා ඉතාමත් සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ. 

නමුත් බංග්ලාදේශය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම තවමත් පාලනය වී නොමැති නිසාවෙන් ඔවුන් මෙරටට පැමිණි විට ඔවුන් සමඟ පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත. ඒ නිසාවෙන් බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණෙන විට ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකයින් ද එරටින් රැගෙන පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර එම ක්‍රීඩක ප්‍රමාණය 30 නොඉක්ම විය යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දන්වා සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ නව සැලසුමට අනුව එම ක්‍රීඩක ප්‍රමාණය 35-40 දක්වා වැඩි කර තිබේ.

ඊට අමතරව බංග්ලාදේශ ආරම්භක පිතිකරු වන සයිෆ් හුසේන්ගේ දෙවන PCR පරීක්ෂණය තුලින් ද ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙන අතර නික් ලීගේ දෙවන PCR පරීක්ෂණය සාමාන්‍ය වී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ වන විට බංග්ලාදේශය තුල සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර ඔවුන් 20 වැනිදා සිට දින 7ක් නිරෝධායනය වී මෙරටට පැමිණීමට දැනට සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<