දිලංක, මන්ජිත් ශතක වාර්තා කරමින් ප්‍රථම දිනය වර්ණවත් කරයි

389
U19 Singer Trophy

19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අද (22) පැවති තරග සංඛ්‍යාව 4කි. එම තරග වලදී වේල්ස් කුමර විද්‍යාලයේ මිලංක මධුරංග සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මන්ජිත් රාජපක්ෂ ශතක වාර්තා කරමින් දස්කම් දැක්වූහ. පන්දු යවන්නන් අතරින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ සංඛ පූර්ණ ඉනිමකදී කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් පෙන්වන ලදී.

පසුගිය ලිපි: කවීන්ගේ ශතකය නිසා ලුම්බිණියට ප්‍රථම ඉනිමේ ජයක්

වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ වේල්ස් කුමර ක්‍රීඩකයෝ මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසියහ. එම තීරණයේ නිවැරදි බව සනාථ කරමින් විශිෂ්ට පිතිකරණයක යෙදුනු ඔවුහු, කඩුලු 8කට ලකුණු 305ක් රැස්කර සිටියදී ඉනිම අත් හිටවූහ. ප්‍රතිවාදී තෝමස් පන්දු යවන්නන් ඔවුන්ගේ නිජ භූමිය තුලදීම අසරණ කළ දිලංක මධුරංග, ලකුණු 143ක් රැස් කරන්නට සමත් විය. තිලාන් නිමේෂ් නොදැවී ලකුණු 42යි.

වේල්ස් ඉනිමෙන් අනතුරුව පිටියට පිවිසි සාන්ත තෝමස් පිතිකරුවන්ට දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 3ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 49ක් පමණි. අවිඳු ප්‍රනාන්දු තෝමසුවන්ගේ කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය. සාන්ත තෝමස් ක්‍රීඩකයෝ මේ වනවිට කඩුලු 7ක් අතැතිව වේල්ස් කුමරුවන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 256ක් පිටුපසින් සිටියි.

වේල්ස් කුමර විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 305 (පන්දුවාර 65) දිලංක මධුරංග 143, තිලාන් නිමේෂ් 42*, ටෙහාන් ස්චාෆ්ටර් 2/34.

ශාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 49 (පන්දුවාර 25) අවිඳු ෆර්නෑන්ඩු 2/15.


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මාරිස්ටෙලා විද්‍යාලයේ ආරාධනයෙන් පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන් සියළු දෙනාම දැවී ලකුණු 205ක් රැස් කිරීමට සමත් විය. එහිදී හිරුණ පෙරේරා ලකුණු 57ක් රැස් කළ අතර මාලක ද සිල්වාට ලකුණු 46කින් සෑහීමකට පත්වන්නට සිදුවිය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු සංඛ පූර්ණ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පිතිකරුවන් පස් දෙනෙකු යළි ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

සරේ විලේජ් හීදී පැවති මෙම තරගයේ දෙවනුව පන්දුවට පහර දුන් මාරිස්ටෙලා පිතිකරුවෝ දිනය නිමාවන විට කඩුලු 2කට ලකුණු 122ක් රැස් කරගෙන ස්ථාවර ස්ථානයක පසුවෙති. විශ්වාසනීය පිතිකරණ රටාවක නියැලෙන දුෂාන් ගුරුගේ නොදැවී ලකුණු 74ක් රැස්කරගෙන සිටියි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 61.4) හිරුණ ඩිල්ශාන් 57, මාලක ද සිල්වා 46, ශලක බණ්ඩාර 31, සංඛ පූර්ණ 5/54, ලසිත කෲස්පුල්ලේ 2/21.

මාරිස්ටෙලා විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 122 (පන්දුවාර 31) දුෂාන් ගුරුගේ 74*, ශෙහාන් මනීෂ 31, යොහාන් ලියනගේ 2/15.


සාන්ත සිල්වෙස්ටර් සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

පේරාදෙණිය සරසවි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් සිල්වෙස්ටර් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 284ක් රැස් කරන්නට සමත් වූහ. මන්ජිත් රාජපක්ෂ, සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් වගකීම් සහගත ඉනිම නිරත වෙමින් නොදැවී ලකුණු 111ක් රැස් කරන්නට සමත් විය. අවිඳු හේරත් සිය ශතකයට ලකුණු 6ක් මෙපිටින් අවාසනාවන්ත ලෙස දැවී ගියේය. අනුරාධපුර මහා විද්‍යාලය වෙනුවෙන් ඉසුරු අනුරුද්ධ කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ලකුණු 39කට දවා ගන්නට සිල්වෙස්ටර් පන්දු යවන්නන් සමත් විය. ඩිල්ශාන් නොදැවී ලකුණු 29ක් රැස් කරද්දී තුසිත් සහ මංජුල අතරේ කඩුලු 7ක් බෙදී ගියේය.

ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – කඩුලු  7ක් දැවී ලකුණු 284 (පන්දුවාර 65) මන්ජිත් රාජපක්ෂ 111*, අවිඳු හේරත් 94, ඉසුරු අනුරුද්ධ 3/49, මධුරංග  චන්දුවරත්න 2/94.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 18.2) ටී. ඩිල්ශාන් 29*, තුසිත් ද සොයිසා 4/16, මංජුල පෙරේරා 3/15.


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වුණු මෙම තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ත්‍රිත්ව විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව සේනානායක විද්‍යාලයට ලබා දුන්නේය. ඒ අනුව පිටියට පිවිසි සේනානායක පිතිකරුවෝ සියලු දෙනාම දැවී ලකුණු 208ක් රැස් කළහ. සාර්ථක පිතිකරණයක නියැලුණු දසුන් දෙමාෂ අර්ධ ශතකයක් (62) වාර්තා කරද්දී ශෙෂාඩ් අමීන් සහ මෙත්සිත් ජයමන්ත පිළිවෙලින් ලකුණු 39ක් හා 34ක් බැඟින් රැස් කළහ. එස්. ශැනුගීත් සහ විමුක්ති නෙත්මාල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ත්‍රිත්ව විද්‍යාලය අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5කට ලකුණු 75ක් රැස් කරගෙන සිටියහ. කළණ ද සොයිසා ලකුණු 23යි. නොදැවී පන්දුවට පහර දෙන හසිත බෝයගොඩ ලකුණු 18ක් ලබා සිටියි. පසිඳු ආදිත්‍ය, සේනානායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වෙමින් ත්‍රිත්ව විද්‍යාලයේ කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය. ප්‍රථම දිනය නිමාවන විට ත්‍රිත්ව විද්‍යාලය, සේනානායක පළමු ඉනිමට වඩා ලකුණු 133ක් පසුපසින් සිටිති.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 63) දසුන් දෙමාෂ 62, ශෙෂාඩ් අමීන් 39, මෙත්සිත් ජයමන්ත 34, ශම්මුගනාදන් ශනුගීත් 3/32, විමුක්ති නෙත්මාල් 3/35, මොහොමඩ් ශීබ් 2/24.

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 75 (පන්දුවාර 32) කළණ ද සොයිසා 23, හසිත බෝයගොඩ 18*, පසිඳු ආදිත්‍ය 2/26.

මෙම සියලුම තරග හෙට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler