කොරෝනා එක්ක T20 ලෝක කුසලානය තියන්න පුළුවන් ද?

262

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධානම තරග ඉසව්ව වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එම තරගාවලිය 2021 වසර දක්වා කල්දැමීමට පසුගිය මාසයේ දී තීරණය කළේය.

එහෙත් 2021 වසර වන විටත් මෙම කොරෝනා තත්ත්වය පහව නොගියහොත්, ලෝක කුසලාන තරගාවලියට කුමක් සිදු වේවි ද?

මාස දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ තරග සංචාරයක් සඳහා එක්ව සිටින පාකිස්තාන කණ්ඩායමේ විස්සයි විස්ස නායක බාබර් අසාම් CricBUZZ වෙබ් අඩවිය සමඟින් සාකච්ඡාවකට එක් වූ අතර කණ්ඩායම් 10 – 12 අතර ප්‍රමාණයක් සහභාගී වන ගෝලීය තරගාවලියක් ජෛව ආරක්ෂිත වටපිටාවක් තුළ පැවැත්විය හැකි දැයි එහි දී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබුණි. එහි දී බාබර් අසාම් පවසා ඇත්තේ එය කළ හැකි දෙයක් බවයි.

“අපි මාස දෙකක වගේ කාලයක් මේ ජෛව ආරක්‍ෂිත වටපිටාවේ ඉන්නවා. ඔවුන් අපට ක්‍රීඩාංගණයට ළඟම හෝටල් දීලා තියනවා. ඇත්තටම අපිට කිසිම ගැටලුවක් නැහැ. කිසිම ක්‍රීඩකයෙක්ගෙන් කිසිම දෙයක් ගැන පැමිණිලි ලැබිලා නැහැ. අපට අපේ ක්‍රීඩාව සැලසුම් කරන්න ලොකු වෙලාවක් ලැබිලා තියනවා. කණ්ඩායම එක්ක වාඩි වෙලා කතා කරන්න ඉඩක් තියනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන එක හැරෙන්න අපිට කරන්න වෙන දෙයක් නැහැ. ඒක හොඳ දෙයක්.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ වසරේ ප්‍රධානම ඉසව්ව වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එය 2022 වසර දක්වා කල්දැමීමත් සමඟින් 2021 වසරේ ලෝක කුසලාන සත්කාරකත්වය තවමත් ඉන්දියාවට හිමිව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් බාබර් අසාම් පවසා සිටියේ එම කල්දැමීමත් සමඟින් තමන්ට තරගාවලිය සඳහා සූදානම් වීමට හා සැලසුම් කිරීමට වැඩි කාලයක් යෙදවිය හැකි බවත්, ක්‍රීඩාංගණ හා දේශගුණික තත්ත්ව මත පදනම්ව කුමන ආකාරයේ කණ්ඩායමක් තෝරා ගත යුතු ද යන්න ගැන සිතා බැලීමටත් අවස්ථාවක් ලැබී ඇති බවයි.

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වැනිදා සිට මැන්චෙස්ටර් හිදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය තමන්ට ලෝක කුසලාන තරගාවලිය සඳහා පුහුණුවීමට ඇති මහඟු අවස්ථාවක් බව බාබර් අසාම් පවසා තිබේ.

තම කණ්ඩායම මේ වන විට එංගලන්තයේ මාස දෙකකට අධික කාලයක් ගතකර ඇති නිසා එහි දේශගුණයට හුරුවී ඇති බවත් බාබර් අසාම් පවසා සිටියේය. තම කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ මානසිකත්වයේ වෙනසක් පමණක් බව බාබර්ගේ මතයයි.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි එංගලන්තයට ඇවිල්ලා දැන් මාස දෙකක් විතර. අපි ටෙස්ට් තරග ක්‍රීඩා කලේ. දැන් අපිට විස්සයි විස්ස රටාවට පුරුදුවෙන්න වෙනවා. ඒකට ලොකු කාලයක් නැහැ. මම හිතන්නේ ඒක තමයි අපිට තියන අභියෝගය. ඒක මානසික ක්‍රීඩාවක් බවට පත්වෙනවා” බාබර් පැවසීය.

“මම මීට කලිනුත් කිව්වා අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ තරග ජයග්‍රහණය කරන එක. මම හිතනවා අපට සමබර කණ්ඩායමක් ඉන්නවා. අපේ කණ්ඩායමේ ෂොයිබ් ඉන්නවා, ඒ වගේම හෆීස් ඉන්නවා. අපේ පන්දු බලඇණිය ගත්තම ෂහීන් ෂා වගේම වහබ් රියාස් ඉන්නවා. මොහොමඩ් අමීර්, හරිස් රවුෆ් වගේ ක්‍රීඩකයන් ඉන්නවා. කණ්ඩායමේ හොඳ ජේෂ්ඨ වගේම නවක ක්‍රීඩකයන් ඉන්නවා. මම හිතනවා අපිට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ” 

ෂදාබ් ඛාන් නිමා වූ එංගලන්ත පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන අවධානයක් දිනා ගැනීමට සමත් විය. පළමු ටෙස්ට් තරගයේ දී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ ඔහු දෙවැනි හා තෙවැනි තරගවල දී අතිරේක ක්‍රීඩකයෙක් බවට පත්වීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. පාකිස්තාන පරාජයේ ප්‍රධාන හේතුව එය බව බොහෝ දෙනා පවසා තිබුණි. කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය තුල දී ඔහු වඩාත් හොඳින් යොදාගැනීමට තමන් බලාපොරොත්තු වන බව බාබර් අසාම් පවසා තිබේ.

“ෂදාබ් ඛාන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී පන්දුවට පහර දුන් ආකාරය, පන්දු යැවූ ආකාරය හැමෝම දැක්කා. ඔහු ඔහුගේ හැකියාව අපිට පෙන්නලා තියනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව වෙන්නේ ඔහුව නිවැරදිව යොදාගන්න එක. තරගයේ තත්ත්වය එක්ක ඔහුගේ භූමිකාව වෙනස් වේවි” බාබර් පැවසීය.

එංගලන්තය සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තාන සංචිතය: 

බාබර් අසාම් (නායක), ෆකාර් සමන්, හයිඩර් අලි, හරිස් රවුෆ්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් අමීර්, නසීම් ෂා, සෆ්‍රාස් අහමඩ්  , ෂහීන් ෂා අෆ්රිඩි, ෂොයිබ් මලික්, වහබ් රියාස්.

එංගලන්ත පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන

  • පළමු තරගය – අගෝස්තු 28 මැන්චෙස්ටර් හිදී
  • දෙවන තරගය – අගෝස්තු 30 මැන්චෙස්ටර් හිදී
  • තෙවැනි තරගය – සැප්තැම්බර් 01 මැන්චෙස්ටර් හිදී

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය පසුගිය අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වූ අතර ටෙස්ට් තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් එයට ඇතුළත් විය.

එංගලන්ත පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය පසුගිය දා ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර  තරගාවලිය 1-0ක් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<