හිටපු එංගලන්ත නායකයෝ Rootට ඉල්ලා අස් වෙන්න කියයි

4986

හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයින් වන Michael Atherton, Nasser Hussain හා Michael Vaughan, වත්මන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක Joe Root නායකත්වයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසා සිටිනවා.

එංගලන්තය සමඟ පැවැත්වුණු තුන්වැනි ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම Richards-Botham කුසලානය දිනා ගන්නට සමත් වුනා.

මේ පරාජය සඳහන් වුනේ Rootගේ නායකත්වය යටතේ පරාජය වූ 26 වැනි ටෙස්ට් තරගය ලෙසයි. ඔහු තරග 64ක දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඔහුට වඩා පරාජයන් වලට මුහුණ දුන් නායකයින් සිටී නම් ඒ නවසීලන්තයේ Stephen Fleming (27) හා දකුණු අප්‍රිකාවේ Graeme Smith (29) පමණයි.

තරගයෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී Root සඳහන් කර සිටියේ කණ්ඩායම ඉතා හොඳ දක්ෂතා දැක්වූ බවත් සුබදායි වෙනස්කම් කිහිපයක්ම සිදු කර තිබුණු බවත්ය. කෙසේ වෙතත් ඒ පිළිබඳව හිටපු එංගලන්ත නායකයින් කිහිප දෙනෙක්ට තිබෙන්නේ වෙනත් අදහසක්.

“Rootගේ නායකත්වය විශ්වාස කරන්න බැහැ. ඔහුත් අනිවාර්යයෙන්ම ඒක දන්නවා ඇති”, Atherton පවසා තිබුණා. 2021-22 අළුබඳුන කුසලානය පරාජය වූ දා පටන්ම Atherton පවසා සිටියේ Root නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි. “ඔහුගේ කණ්ඩායම දැන් තරගාවලි පහක් පරාජයට පත් වෙලා තිබෙනවා. අවසන් තරග 17න් ඔවුන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.”

“Root නායකත්වයේ මාර්ගයේ අවසානයට පැමිණ තිබෙනවා. වෙනසකින් මේ සේරම ගැටලු විසඳෙන්නේ නැහැ. මේක දුර්වල කණ්ඩායමක් වගේම ඔවුන් මේ අත්විඳින්නේ පළමු පෙළ තරග මගහැරීමේ ප්‍රතිඵල. නමුත් නායකයාට අලුත් දෙයක් කියන්න නැත්තම් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හදන්න අලුත් විදියක් නැත්තම්, වෙනත් කටහඬක් හෝ වෙනත් රටාවක් අවශ්‍යයි.”

Daily Mail වෙත ලියමින් Hussain පවසා සිටියේ James Anderson හා Stuart Broad කණ්ඩායමට තෝරා නොගැනීම දුර්වල තීරණයක් බවයි.

“Root ලෝකයේ සිටින හොඳම පිතිකරුවෙක් වගේම ඉතාම හොඳ චරිතයක්. නමුත් මට හිතෙන්නේ නායකයෙක්ට තියෙන්න ඕනේ සහජ ගති ගුණ ඔහුට නැහැ”, Hussain පවසා තිබුණා. “පැහැදිළිවම Joe හා Paul Collingwood යටතේ බටහිර ඉන්දීය කොදෙව් හිදී කණ්ඩායම එකමුතුව සුහද වාතාවරණයක් පවත්වා ගෙන ක්‍රීඩා කළා. ඔවුන්ට අවශ්‍ය හැමෝම කැමති කණ්ඩායමක් බවට පත් වෙන්න නමුත් ටෙස්ට් තරග දිනන්න මීට වඩා දේවල් ඕනේ.”

සමහර වෙලාවට ඔබට ඕනේ ටිකක් දැඩි චරිත ඔවුන්ව පාලනය කරන්න මෙන්ම පුහුණු කරන්න අමාරු වුනත්. පාලනය කරන්න අමාරු ක්‍රීඩකයින් අතෑරලා හැම දේටම ඔව් කියන 10 දෙනෙක් තෝරා ගැනීම හොඳ දෙයක් නොවෙයි. නායකයාගේ වගකීම තමා විවිධ දේවල් විවිධ කරන පුද්ගලයින්ගෙන් උපරිමය ගැනීම.”

ජුනි 2 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කිරීමට නියමිතයි. ඒ සමඟම නව නායකයෙක් පත් කිරීමට ද ඉඩ තිබෙනවා. Hussain පවසා සිටින්නේ නායකත්වයේ වගකීම Ben Stokes හට හිමි විය යුතු බවයි.

“Joe නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් ඒ තීරණය වෙන කෙනෙක් ගත යුතුයි. ඉන් පසුව නව පුහුණුකරුවා Ben Stokes සමඟ වාඩි වෙලා කතා කරන්න ඕනේ ඔහු මේ මොහොතේ මොන තත්වයේද ඉන්නේ කියලා. Ben නැවත වතාවක් දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කරන බව පෙනෙනවා. පුහුණුකරුවා කැමති නම් ඔහුට ඒ වගකීම ලබා දෙන්න ඕනේ.”

Daily Telegraph වෙත අදහස් දක්වමින් Vaughan පවසා සිටියේ Root නායකත්වය “හොඳ මදි” බවයි. එමෙන්ම ඔහු නිතරම යම් යම් උපක්‍රම අමතක කරන බව ද ඔහු පවසා සිටියා.

“Grenada හිදීත් එය සිදු වුනා. ඕස්ට්‍රේලියාවේ දී කිහිපවතාවක්ම එය සිදු වුනා.” ඔහු පවසා සිටියා. Joeගේ නායකත්වය යටතේ එංගලන්තය නිතරම පීඩනයට ලක් වීම නියතයක් බවට පත් වුනා.”

අපි හිතා බලන්න ඕනේ Joe Root නොමැතිව එංගලන්තය කොහොම ක්‍රීඩා කරයි ද කියලා. අපිට මොනවද මගහැරෙන්නේ කියලා. අපිට ඔහුගේ ලකුණු පිළිබඳව ප්‍රශ්නයක් නැහැ මොකද ඔහු ලකුණු රැස් කරයි. අපිට ඔහුගේ උපක්‍රම නැති වෙයි ද නැහැ.”

cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<