“එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ අඩුව සෑහෙන්න දැනෙයි!”

180

නිමාව දුටු අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී තමන් අත්පත් කරගත් සාර්ථකත්වය පිටුපස එංගලන්ත ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර මහත් පන්නරයක් වූ බව සඳහන් කර සිටින සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් මෙවර එංගලන්ත තරග සංචාරයේ දී එම අඩුව තදබල ලෙස තමන්ට දැනෙනු ඇතැයි ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වමින් ඔහු සඳහන් කර සිටියේය.

2018 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ හිටපු නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් දෙදෙනා වසරක කාලසීමාවක් සඳහා පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරණය අවසන් කිරීමෙන් අනතුරුව යලි ටෙස්ට් තරග බිමට අවතීර්ණ වූයේ නිමාව දුටු අළුබඳුන ටෙස්ට් තරගාවලිය අතරතුර දී ය. 

එහි දී එංගලන්ත ප්‍රේක්ෂකයින් විසින් ස්මිත් සහ වෝනර් දෙදෙනා යලි ජාත්‍යන්තර තරග බිමට පිළිගැනීමේ දී එතරම් යහපත් ප්‍රතිචාරයන් නොදැක්වීමට වගබලා ගත්තේ ඔවුන් සිදු කළ එම වරදට ඔවුන්ගේ විරුද්ධත්වය  ප්‍රකාශ කිරීමේ අරමුණෙනි. කෙසේ නමුත් ප්‍රේක්ෂකාගාරයෙන් නැඟුණු ගැරහුම්, අවලාද තඹ දොයිදුවකටවත් මායිම් නොකළ ස්මිත් තරගාවලිය අවසන් කළේ තරග 4ක දී එක් ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් ද සමඟින් මුළු ලකුණු 774ක් තම පිත්තෙන් වාර්තා කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්තය සමඟ එළඹෙන මස ආරම්භයේ දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (23) දිනයේ දී සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් නික්ම ගිය අතර ඊට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වෙමින් ස්මිත් මෙසේ තම අදහස් පළකොට සිටියේය.

එංගලන්තයේ දී පන්දුවට පහර දෙන්න මම ගොඩක් කැමති. අවාසනාවට වගේ මේ පාර එංගලන්ත ප්‍රේක්ෂකාගාරය පැත්තෙන් කිසිම දිරි ගැන්වීමක් මට ලැබෙන එකක් නැහැ. මම පහුගිය දවස්වල එංගලන්තය ක්‍රීඩා කරපු ටෙස්ට් තරග කිහිපයක් නැරඹුවා. ටෙස්ට් තරගවලත් වඩා පහුගිය අවුරුදු කිහිපයේ ඔවුන්ගේ සීමිත පන්දුවාර තරගවල හොඳ ප්‍රගතියක් දකින්න පුළුවන්. අනිවාර්‍යෙන්ම මේ තරගාවලිය ගොඩක් උණුසුම් වෙයි.”

තරගාවලි කාලසටහනට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම හට පළමුව ඩර්බි හී පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙහි දින 14ක කාලසීමාවක් ගත කිරීමට සිදු වනු ඇති අතර අනතුරුව ඔවුන් විස්සයි විස්ස තරගාවලිය ක්‍රියාත්මක වන සවුත්ඇම්ප්ටන් ක්‍රීඩාංගණ සංකීර්ණ තුල පිහිටා ඇති නවාතැන්පොළ බලා පිටත්ව යාමට නියමිතය. ඉන් පසුව මැන්චෙස්ටර් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන එක්දින තරගාවලිය සඳහා මුහුණ දීමට ඔවුන් සූදානමින් පසුවේ.

ඇත්තටම බාහිර සමාජයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැතිව කණ්ඩායමත් එක්ක එකටම ඉඳලා, ප්‍රේක්ෂකයෝ නැති ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරනවා කියන්නේ අමුතුම අත්දැකීමක්. අනිවාර්‍යෙන්ම ඒක ගොඩක් අභියෝගාත්මක වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම පවුලේ උදවියගෙන් ඈත් වෙලා කාලය ගත කරනවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. කොහොම නමුත් ආයිත් අපිට සුපුරුදු පරිදි ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීමම ලොකු භාග්‍යයක්. ඒක නිසා දවසින් දවස සැලසුම් කරලා අපි මේ අභියෝගය ජය ගන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ස්මිත් තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයන්ට පිළිතුරු දෙමින් තම අදහස් පළකර සිටියේය.

ඕස්ට්‍රේලියානු සංචිතය: ආරෝන් ෆින්ච් (නායක), ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගාර්, ඇලෙක්ස් කේරි, ජොෂ් හේසල්වුඩ්, මාර්නස් ලබුෂේන්, නේතන් ලයන්, මිචෙල් මාර්ෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ඩැනියල් සෑම්ස්, ජොෂ් ෆිලිප්, කේන් රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්, ස්ටීව් ස්මිත්, මාර්කස් ස්ටොයිනිස්, ඇන්ඩෲ ටයි, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝර්නර්, ඇඩම් සැම්පා, රයිලි මෙරිඩිත්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<