වෙස්ලි, රාජකීය සහ ඉසිපතනයට ජය

1722

කවදත් උද්වේගකර පාසල් රග්බි වසන්තයේ දෙවන වටය ආරම්භ වී දෙවන සතිය අවසන් වන විට තරගාවලියේ උණුසුම තව තවත් වැඩි කරමින් සියලුම පාසල් තමන් සතු උපරිම දක්ෂතා ප්‍රකට කරමින්  තරගාවලිය ක්‍රීඩා කරනු දැකිය හැකි විය.

නොනැවතුණු වැරදිවලින් ජෝසප්වරුන් පරාජයට

සිංගර් පාසල් රග්බි ලීගයේ දෙවන වටයේ දෙවන සතිය අරඹමින් අද (05) මහනුවර ත්‍රිත්ව විදුහලත් මරදාන සාන්ත ජෝසප් විදුහලත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණි. එහි දී ලකුණු 30-25ක් ලෙස ජය ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි.

විශේෂයෙන් ම ශූරතා කුසලානය සඳහා වන කොටසේ ඉතාමත් උණුසුමක් හටගෙන තිබේ. විශේෂයෙන් ම මෙවර තරග වාරය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම් හතරකට පැහැදිලි ලෙස අවස්ථාව ඇති අතර ඒ සඳහා යන ගමන් මගේ සන්ධිස්ථානයක් වන දෙවන වටයේ දෙවන සතිය පිළිබඳ ව අපි දැන් අවධානය යොමු කරමු.

කොළඹ වෙස්ලි විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර

@ CR & FC ක්‍රීඩා පිටිය

තවත් උද්වේගකර තරගයක් වනු ඇති බවට මත පලකෙරුණු මෙම තරගයේ ලකුණු 26-14 ලෙස ලබා ජය ගන්නට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත් විය. තරගයේ ආරම්භයේ පටන් තම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට පිවිසීමට කණ්ඩායම් දෙකම උත්සාහ ගත්ත ද එයින් ප්‍රථමයෙන් සාර්ථක වූයේ සාන්ත පීතර විද්‍යාලයයි.

Wesley vs St. Peter's

ස්ටීවන් සිවරාජ්ගේ සාර්ථක පා පහර සමඟ ලකුණු පුවරුව ආරම්භ කිරීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත් වෙස්ලි විද්‍යාලයේ ඉදිරි පෙල ක්‍රීඩකයන් හා අවිශ්ක ලී ගේ විශිෂ්ට තීරණ ගැනීමේ හැකියාව හේතුවෙන් ඉමේෂ් අපොන්සු විසින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය මුලින් අසාර්ථක වූ නමුත් සාන්ත පීතර ක්‍රීඩකයින් කලින් ප්‍රවර්තනය වැළකීමට පැමිණීම හේතුවෙන් නැවත වරක් අවිශ්ක ලී හට ප්‍රවර්තනය කිරීමට ඉඩ ලබා දුනි. එහි දී සාර්ථක වූ ඔහු වෙස්ලි විද්‍යාලය ලකුණු 4කින් ඉදිරියෙන් තබන්නට සමත් විය.

නැවතත් දඬුවම් පහරක් මගින් තරගයට අවතීර්ණ වූ සාන්ත පීතර ක්‍රීඩකයන්ට එම සතුට වැඩි වෙලා භුක්ති විඳීමට අවිශ්ක ලී ඉඩ නොදුන්නේය. ඔහු ප්‍රථම අර්ධය නිමා වීමට ප්‍රථම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදු වීමක් විය. ඉන් එක් උත්සාහක දිනුමක් පමණක් ඔහු විසින් ප්‍රවර්තනය කළ අතර දෙවන අර්ධයට වෙස්ලි ක්‍රීඩකයන්ට පැහැදිලි පෙරමුණක් ලැබී තිබුණි.

ප්‍රථම අර්ධය : වෙස්ලි 19 – 06 සාන්ත පීතර

සාන්ත පීතර ක්‍රීඩකයන් පීඩනයක් මැද ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර එම නිසා ම ඔවුන්ගේ බිලාල් හිල්මි හට කහ කාඩ් පතක් විනිසුරුවරයා ලබා දෙන ලදි. කෙසේ වෙතත් අදාළ මිනිත්තු 10 හොඳින් ආරක්ෂා කර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයන් සමත් වූ අතර හිල්මි පැමිණි විගසම වාගේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ දියත් ප්‍රනාන්දු හා රවින් ප්‍රනාන්දු සුසංයෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි. එහි ප්‍රවර්තනය සිවරාජ් අතින් ගිලිහුන ද ඉන් පසුව ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය අඩු කිරීමට ඔහු සමත් විය.

තරගයේ අවසාන භාගයේ දී සාන්ත පීතර ක්‍රීඩකයන්ට තරගය ජය ගත හැකි අවස්ථාවක් ලැබුණු නමුත් එම අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දීමට තරම් ඔවුන් අපරීක්ෂාකාරී විය. ඉමේෂ් අපොන්සු පහසුවෙන් එම උත්සාහක දිනුම වාර්තා කරන ලද අතර අවිශ්ක ලී එය සාර්ථක ව ප්‍රවර්තනය කරන ලදි.

සම්පූර්ණ කාලය : වෙස්ලි 26 – 14 සාන්ත පීතර

ThePapare.com තරඟයේ වීරයා – අවිශ්ක ලී (වෙස්ලි විද්‍යාලය)

ලකුණු බෙදී යාම

  • වෙස්ලි විද්‍යාලය – අවිශ්ක ලී (උත්සාහක දිනුම් 2 , ප්‍රවර්තන 3) ඉමේෂ් අපොන්සු (උත්සාහක දිනුම් 2)
  • සාන්ත පීතර විද්‍යාලය – බිලාල් හිල්මි (උත්සාහක දිනුම් 1 ) , ස්ටීවන් සිවරාජ් (දඬුවම් පහර 3

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

@ හැව්ලොක් පිටිය

පසුගිය වර ශූරයන් හා අනුශූරයන් ගැටුණු මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් නමුත් තරගය අවසන් වීමට මත්තේන් ඉසිපතනය වාර්තා කළ උත්සාහක දිනුම් දෙකක් හේතුවෙන් ඔවුන්ට දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

Isipathana vs S. Thomas'

තරගයේ ආරම්භක උත්සාහක දිනුම 20 වන මිනිත්තුව වනතුරු වාර්තා නොවීම ද විශේෂත්වයකි. මෙහි දී සාර්ථක වූයේ ඉසිපතන ක්‍රීඩක රමිත හිමාෂ් ය. චමෝද් ප්‍රනාන්දුගේ ප්‍රවර්තනය අසාර්ථක වූ බැවින් තොමසුවන් ඉන් මදකට පසුව අදීශ හඳුන්පතිරණ වාර්තා කරන ලද උත්සාහක දිනුම හා ඩියෝන් ඩයස්ගේ ප්‍රවර්තනය සමඟ තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු 10 තුල සුවිශේෂී දස්කම් දැක්වූ ඉසිපතනයේ රැන්ඩි සිල්වා උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. චමෝද් ප්‍රනාන්දු ඉන් එක් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය කළේය. සාන්ත තෝමස් ක්‍රීඩකයන් දක්ෂ ලෙස එහි දී ක්‍රීඩා කළ ද ඉසිපතනය අභිබවා යාමට හැකියාවක් ඔවුන්ට හැකි නොවීය.

ප්‍රථම අර්ධය : ඉසිපතන 19 – 07 සාන්ත තෝමස්

දෙවන අර්ධයේ ආරම්භය තොමසුවන්ට ඉතා අවාසනාවන්ත විය. ඔවුන්ගේ පන්දුව හැසිරවීමේ දුර්වලතා මැනවින් උපකාරී කර ගත් ඉසිපතනයේ සුදීර දිසානායක වේගවත් ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.

කෙසේ වෙතත් එහි ප්‍රවර්තනය අසාර්ථක වූ අතර තොමසුවන් ද කෙමෙන් කෙමන් තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. එනම් ඔවුන්ගේ ඉදිරි පෙල ක්‍රීඩක ආබිඩ් කාදර් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එය සාර්ථකව ප්‍රවර්තනය කිරීමට ඩියෝන් ඩයස් සමත් විය.

කෙසේ වෙතත් තොමසුවන්ගේ පන්දු පාලනයේ තිබූ දුර්වලතා හේතුවෙන් රමිත හිමාෂ් තම දෙවන උත්සාහක දිනුම ඉසිපතනය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් සාන්ත තෝමස් විද්‍යාලය නැවතත් තරගයට එක් වෙමින් මෙවර නායක නවීන් හේනකන්කානම්ගේ මගින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ උණුසුම තවත් වැඩි කරන්නට සමත් විය.

කෙසේ නමුත් ඉසිපතනය 72 වන මිනිත්තුවේ දී චමෝද් ප්‍රනාන්දු මගින් හා 77 වන  මිනිත්තුවේ දී රවිඳු අංජුල මගින් වාර්තා කරන ලද උත්සාහක දිනුම් හේතුවෙන් තරගයේ ජය ඉසිපතනයට හිමි විය.

සම්පූර්ණ කාලය : ඉසිපතන 41 – 21 සාන්ත තෝමස්

ThePapare.com තරගයේ වීරයා – රැන්ඩි සිල්වා (ඉසිපතන විද්‍යාලය )

ලකුණු බෙදී යාම

  • ඉසිපතන 41 – රැන්ඩි සිල්වා (උත්සාහක දිනුම් 2), රමිත හිමාෂ් (උත්සාහක දිනුම් 2), සුදීර ගයානාත් (උත්සාහක දිනුම් 1), රවිඳු අංජුල (උත්සාහක දිනුම් 1), චමෝද් ප්‍රනාන්දු (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 3)
  • සාන්ත තෝමස් 21 – අදීශ හඳුන්පතිරණ (උත්සාහක දිනුම් 1), ආබිඩ් කාදර් (උත්සාහක දිනුම් 1), නවීන් හේනකන්කානම්ගේ (උත්සාහක දිනුම් 1), ඩියෝන් ඩයස් (ප්‍රවර්තන 3)

මරදාන සහිරා විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

@ සහිරා විද්‍යාලයීය ක්‍රීඩා පිටිය

උණුසුම් තරගයක් වේ යැයි බොහෝ දෙනා සිතා සිටිය ද රාජකීයයන් මෙම තරගය සිය අණසකට නතු කරගත්තේ ඔවුන්ගේ දස්කම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

Zahira vs Royalප්‍රථම අර්ධයේ 32-00 ලෙස ඉදිරියේ පසු වූ ඔවුන් තරගය අවසන් වන විට උත්සාහක දිනුම් 11ක් සමඟ මුලු ලකුණු 65ක් ලබා තිබුණි. රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ඉදිරි පෙල ක්‍රීඩකයින් ප්‍රථම උත්සාහක දිනුම තරගය ආරම්භ වී සුලු මොහොතක් යද්දී වාර්තා කිරීමට සමත් විය. හම්සා රීසා එම උත්සාහක දිනුම වාර්තා කළ අතර මිනිත්තු කිහිපයකින් පසුව ලෙනොක්ස් කල්යානරත්න රාජකීය විද්‍යාලය වෙනුවෙන් ඊළඟ උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

කෙසේ වෙතත් රාජකීය ප්‍රහාරයට මුහුණ දීමට හැකියාවක් සහිරා ක්‍රීඩකයන්ට නොවීය. නැවතත් ක්‍රියාත්මක වූ හම්සා රීසා පිට පිටම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. ජවසම්පන්න ධාවනයක යෙදුණු ජනිඳු ඩිල්ෂාන් රාජකීයයන් වෙනුවෙන් 5 වන උත්සාහක දිනුම වාර්තා කරන ලද අතර සහිරා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා රටාව මැනවින් ග්‍රහණය කර ගත් තුලේබ් හසන් රාජකීයයන්ගේ 6 වන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

ප්‍රථම අර්ධය : සහිරා විද්‍යාලය 00 – 32 රාජකීය විද්‍යාලය

මද වර්ෂාවක් මධ්‍යයේ පැවති එම තරගය උත්සාහක දිනුම් වර්ෂාවක් බවට පත් කිරීමට රාජකීයයන් සමත් වන ආකාරයක් දක්නට ලැබුණි. දෙවන අර්ධය ආරම්භයේ දී ම රාජකීයයන් වෙනුවෙන් නැවත වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තුලේබ් හසන් සමත් විය.

සහිරා ප්‍රේක්ෂකයින්ට මද අස්වැසිල්ලක් ගෙන දෙමින් ඒ. ආර්. බූසෝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එයින් සහිරා ක්‍රීඩකයන් යම් කිසි ආකාරයකින් දිරිමත් වී අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඔවුන්ගේ දුර්වල යොමු කිරීමක් මැනවින් ඩැහැ ගත් රාජකීයයන්ගේ පසිඳු ප්‍රනාන්දු මීටර 90 පමණ ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කරනු ලැබීය. ඉන් පසු හම්සා රීසා නැවත වරක් තරගයට අවතීර්ණ වෙමින් තම සිව් වන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජනිදු ඩිල්ශාන්ගේ පන්දුව නිසි ලෙස හසුරුවා ගත් පසිඳු ප්‍රනාන්දු තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

රාජකීයයන් වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම නවක ක්‍රීඩක රනුජ අමරසිංහ විසින් වාර්තා කරන ලදි. සහිරා ක්‍රීඩකයන්ට  අස්වැසිල්ලක් මෙන් වූ තරගයේ අවසන් උත්සාහක දිනුම ටී. එස්. අමත් විසින් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ කාලය : සහිරා 14 – 65 රාජකීය

ThePapare.com තරගයේ වීරයා – හම්සා රීසා (රාජකීය විද්‍යාලය )

ලකුණු බෙදී යාම

  • රාජකීය විද්‍යාලය – හම්සා රීසා (උත්සාහක දිනුම් 4), තුලේබ් හසන් (උත්සාහක දිනුම් 2), පසිඳු ප්‍රනාන්දු (උත්සාහක දිනුම්  2), ලෙනොක්ස් කල්යානරත්න (උත්සාහක දිනුම් 1), රනුජ අමරසිංහ (උත්සාහක දිනුම් 1), ශාකීර් නවුෆර් (ප්‍රවර්තන 4), මලීශ පෙරේරා (ප්‍රවර්තන 1)
  • සහිරා විද්‍යාලය – ඒ. ආර්. බූසෝ (උත්සාහක දිනුම් 1), ටී. එස්. අමත් (උත්සාහක දිනුම් 1), සයිඩ් සිංහවංස (ප්‍රවර්තන 1), එම්. ඒ. එෆ්. මුබාන් (ප්‍රවර්තන 1)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට