Zaheerගේ ක්‍රීඩා ජීවිතයට තිත තැබුවේ Kohli විසින් ලු!

8653

සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli සහ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma අතර ඇති මිත්‍රත්වය දීර්ඝ අතීතයකට හිමිකම් කියන්නක්. 

එම නිසාම Kohli පිළිබඳ බොහෝ රස කතා ද Ishant සතුව තිබෙනවා. 2014 වසරේ දී ඉන්දියාව විසින් නවසීලන්තයේ සිදු කළ තරග සංචාරයේ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී තවත් හිටපු ඉන්දීය වේගපන්දු යවන්නකු වන Zaheer Khan සහ Kohli අතර සිදු වූ රසවත් සිදුවීමක් Ishant විසින් පසුගිය දිනක හෙළිදරව් කර තිබුණා. 

2014 වසරේ පෙබරවාරි 14 සිට 18 තෙක් පැවැත්වුණු මෙම ටෙස්ට් තරගය Zaheerගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර තරගයේ පළමු ඉනිමේ දී Zaheer විසින් එකඳු නවසීලන්ත පිතිකරුවෙකු හෝ දවා ගැනීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් නවසීලන්ත දෙවැනි ඉනිමේ දී Zaheer විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.  

නමුත් මෙම ඉනිමේ දී නවසීලන්තය විසින් කඩුලු 8කට ලකුණු 680ක් ලබා ගැනීමට සමත් වූ අතර එවකට නවසීලන්ත නායක Brendon McCullum විසින් විශිෂ්ට ත්‍රිත්ව ශතකයක් රැස් කරමින් ලකුණු 302ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී නවසීලන්ත ඉනිමේ මුල් කඩුලු 5ම ලකුණු 94ක් තුළ දැවී ගිය අතර, MacCullum ද සිය ඉනිමේ මුල් භාගයේ දී ම Zaheer Khan විසින් යොමු කළ පන්දුවක් හමුවේ Virat Kohli අතට උඩපන්දුවක් ලබා දුන්නා. නමුත් අවාසනාවන්ත ලෙස Kohli අතින් එම උඩපන්දුව ගිලිහී ගිය අතර, එය ඉන්දියාවට ඉතා විශාල බලපෑමක් එල්ල කළා. 

“අපි නවසීලන්තයේ ක්‍රීඩා කරමින් සිටියේ. Virat Kohli උඩපන්දුව අත්හැරීමෙන් පසුව Brendon McCullum ලකුණු 300ක් ලබා ගත්තා. මට මතකයි ඒක සිදු වුනේ දිවා ආහාරයට ආසන්න වෙලාවක.  

Virat ඒ ගැන Zakගෙන් (Zaheerගෙන්) සමාව ඉල්ලුවා, Zak කිව්වාකනගාටු වෙන්න දෙයක් නැහැ, අපි ඔහුව දවා ගනිමුකියලා. 

තේ විවේකය අතරතුර Kohli නැවතත් Zakගෙන් සමාව ඉල්ලුවා, Zak නැවත ඔහුට කිව්වා කනගාටු වෙන්න එපා කියලා.  

තරගයේ තුන්වැනි දවසේ තේ විවේකය අතරතුර Kohli නැවත ඔහුගෙන් සමාව ඉල්ලුවා. ඒ වෙලාවේ Zak ඔහුට කිව්වාඔබ මගේ ක්‍රීඩා ජීවිතය ඉවර කළාකියලා.” 

Ishant විසින් එම සිදුවීම පිළිබඳ මතකය අවදි කරමින් එසේ පැවසූ අතර Zaheer විසින් ද Ishant පැවසූ සිදුවීම සත්‍ය බව තහවුරු කළා. 

“මම එහෙම කිව්වේ නැහැ. මම කිව්වේ එහෙම ක්‍රීඩකයින් දෙදෙනයි ඉන්නේ. Kiran More විසින් Graham Goochගේ උඩපන්දුව අත් හැරියා, පසුව ඔහු ලකුණු 300ක් ලබා ගත්තා. ඊට පස්සේ Virat Kohli උඩපන්දුවක් අත් හැරියා, කෙනෙක් ලකුණු 300ක් ලබා ගත්තා කියලා. 

පසුව ඔහු මට කිව්වා ඒ විදිහට කතා කරන්න එපා කියලා. ස්වභාවයෙන් ම ඔහුට ඒ ගැන එතරම් හොඳ හැඟීමක් දැනුණේ නැහැ. උඩපන්දුව අත් හැරුණා, ලකුණු ලබා ගත්තා.” 

Zaheer විසින් Ishantගේ ප්‍රකාශයට තවත් ඌණපූර්ණ එකතු කරමින් ඒ බව සඳහන් කළා. 

එය Zaheer විසින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ 92 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර ඔහු ක්‍රීඩාවට සමු දෙන විට ටෙස්ට් කඩුලු 311ක් දවා ගැනීමට සමත් වී සිටියා. එමෙන්ම මෙම සිදුවීම හෙළිදරව් කළ Ishant Sharmaගේ ටෙස්ට් තරග දක්ෂතා ද Zaheerගේ දක්ෂතා හා අතිශයින් සමාන වීමත් මේ දින වල බොහෝ දෙයින් කතා බහට ලක් වන කරුණක්. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Times of India ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<