දීපක් ඉන්දීය ජයග්‍රහණයට පාර කපයි

118

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (16) මුම්බායි හිදී නිමා වූ දෙවැනි තරගයෙන් ලකුණු 34ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ අතර දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත් නිසා…

කාසියේ වාසිය දිනූ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 236ක් වාර්තා කළහ. ඉන් ලකුණු 106ක් ම වාර්තා කළේ එම්. දීපක් ය. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේ ය. එමෙන්ම ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් එස්. රමේෂ් සමඟ එක් වෙමින් නොදැවුණ ලකුණු 122ක සබඳතාවක් ද ගොඩ නැගීමට උදව් කළේය.

එස්. රමේෂ් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ ය.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ ලකුණු සබඳතාව ද 108ක් විය. එම්. දීපක් සහ ආර්. වෙන්කටේස්වර රාවෝ එක් ව එම සබඳතාව ගොඩ නැගූහ. ආර්. වෙන්කටේස්වර රාවෝ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී පැතුම් සමන් කුමාර සහ කේ. හේරත් කඩුල්ල බැගින් දවා ගත්හ.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 202ක් ලබා ගත්හ.

ප්‍රියන්ත කුමාර (06) සහ පැතුම් සමන් කුමාර එක්ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 12කි. අනතුරුව දෙවැනි කඩුල්ලේ දී පැතුම් හා එක්වූ රුවන් වසන්ත පන්දු 39ක දී ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගූහ. පැතුම් දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 25කට ලකුණු 28ක් ලබා සිටියේ ය.

ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ විස්සයි 20න් ද වැඩ අල්ලයි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පූනේ නේහු ක්‍රීඩාංගණයේ…

තෙවැනි කඩුල්ල ලෙසින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 76 නතරව තිබිය දී රුවන් වසන්ත ලකුණු 30කට දැවී ගියේය. ඔහු පන්දු 22කට මුහුණ දී හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කරගෙන තිබුණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කේ. ඒ. සිල්වා ය. ඔහු පන්දු 33කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය. අනෙක් පිතිකරුවන් වූ චන්දන දේශප්‍රිය (11), දිනේෂ් මතුගම (12), දිනේෂ් මධුවන්ත (06), කේ. කුමාර (10), චන්දන සූරියාරච්චි (04) සහ පී. සමීර (00*) අඩු ලකුණුවලට සීමා වූහ.

පන්දු යැවීමේ දී ආර්. අජේ කුමාර්, එස්. රමේෂ්, ඒ. වෙන්කටේස්වර රාවෝ කඩුලු 2 බැගින් දවා ගත් අතර එම්. දීපක් කඩුල්ලක් දවා ගත්තේ ය.

තරගයේ වීරයා ලෙසින් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ශතකලාභී එම්. දීපක් නම් කෙරුණි.

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 236 (20.0): ආර්. වෙකටේස්වර 47, එම්. දීපක් නොදැවී 106, එස්. රමේෂ් නොදැවී 66, පැතුම් සමන් කුමාර 1/37

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 202 (20.0): පැතුම් සමන් කුමාර 28, රුවන් වසන්ත 30, කේ. ඒ. සිල්වා 60, ආර්. අජේ කුමාර් 2/18, එස්. රමේෂ් 2/20, ඒ. වෙන්කටේස්වර රාවෝ 2/27

තරගාවලියේ තෙවැනි විස්සයි විස්ස තරගය හෙට (17) බෝපාල් හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<