ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයෙන් අලුත් නමක ක්‍රිකට් ක්‍රීඩාවක්

Pakistan Tour of Sri Lanka 2023

13410

එංගලන්තය විසින් ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන් Bazball ක්‍රීඩා රටාව අනුව යමින් දැන් තවත් වෙනස් නම් සමඟ ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩා කිරීම් සඳහා විවිධ රටවලින් උත්සාහ දරමින් සිටිනවා. 

වත්මන් එංගලන්ත නායක Ben Stokes සහ පුහුණුකරු Brendon McCullum විසින් සිය වගකීම් භාර ගැනීමෙන් පසු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුනා.  

එතෙක් කල් එංගලන්තය විසින් පවත්වා ගෙන ආ පරාජිත මානසිකත්වය ඉවත දමමින් අතිශය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් ක්‍රීඩා පිටියට තුළ දී ප්‍රදර්ශනය කිරීමට ඔවුන් විසින් පෙලඹුණු අතර මෙහි ප්‍රධානතම අවධානය යොමු වුනේ එංගලන්තයේ පන්දුවට පහර දීමේ වේගය සම්බන්ධයෙනුයි 

ආසන්න වශයෙන් පන්දුවාරයකට ලකුණු 6කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ටෙස්ට් තරගයක ලකුණු එකතු කිරීම ක්‍රිකට් ලෝකයට අලුත් ම අත්දැකීමක් බවට පත් වුනා. 

ඊයේ (24) දිනයේ ජය පරාජයෙන් තොරව නිමා වූ ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය දෙවන ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම විසින් ද එවැනි ම ආක්‍රමණශීලී පිතිකරණ රටාවක් ප්‍රදර්ශනය කළ අතර එය ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Darvidගේ නම අනුව යමින් DravBall යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන් ගත්තා. 

ඒ අනුව ‍යමින් හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් පාකිස්තානය වෙනුවෙන් ද නමක් නිර්මාණය කර තිබෙනවා. 

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ ආරම්භ වූ අතර ඊයේ දිනයේ ම සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්තානය විසින් දිනය නිමා වන විට පන්දුවාර 28 පන්දු 4ක දී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. 

මෙහි දී පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Abdullah Shafique සහ Shan Masood විසින් ලකුණු 108ක සබඳතාවක් පිහිටුවීම සඳහා වැය කළේ පන්දු 116ක් පමණයි. මෙහි දී Masood විසින් පන්දු 47ක් පමණක් වැය කර ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටි Shafique විසින් පන්දු 99කින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. 

පාකිස්තානය විසින් ඊයේ දිනයේ ලබා ගත් මෙම වේගවත් ආරම්භය ශ්‍රී ලංකාව මෙම තරගයේ පසු පාදයට ඇද දැමීමට විශාල හේතුවක් විය හැකි බව අනුමාන කළ හැකි. 

ඊයේ දිනයේ පාකිස්තානය විසින් දියත් කළ ආක්‍රමණශීලී පිතිකරණ රටාවට Akhtar විසින් Pakball යන නම ලබා දී තිබෙනවා. 

“Pakball දෙයක් වෙමින් තිබෙනවා?” 

මීට අමතරව තරගාවලියේ පළමු තරගයේ දී ද පාකිස්තානය වෙනුවෙන් ද්විත්ව ශතක ලාභී Saud Shakeel සහ Agha Salman විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 177ක ආක්‍රමණශීලී සබඳතාව ද මෙහි දී අමතක කළ නොහැකි. එම තරගයේ වාසිය සම්පුර්ණයෙන් ම ශ්‍රී ලංකාවෙන් ඉවතට රැගෙන යාමට සම සබඳතාව හේතුවක් වුනා. 

මේ අනුව එංගලන්තයේ Bazball වලින් ආරම්භ වූ මෙම නම් තැබීම ඉන්දියාවේ Dravball වෙත ගොස් පාකිස්තානයේ Pakball වෙත ළඟා වී තිබෙනවා. 

NDTV Sports ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<