ආසියානු කුසලානයේ අවසන් තරග බලාපොරොත්තු

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1035

ආසියානු කුසලානයේ සුපිරි 4 අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින්.

එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. ඊයේ තරගයෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහන දැක්වුණේ මෙසේයි.

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ලකුණු වේගය ප්‍රසාද ලකුණු
ශ්‍රී ලංකාව 2 2 0 +0.351 4
පාකිස්තානය 1 1 0 +0.126 2
ඉන්දියාව 2 0 2 -0.125 0
ඇෆ්ගනිස්ථානය 1 0 1 -0.589 0

 

ඒ අනුව එක් එක් කණ්ඩායම්වල අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව කෙබඳු ද? මේ ඒ පිළිබඳව කරන විමසීමක්.

ශ්‍රී ලංකාව

  • ඉතිරි තරග: පාකිස්තානය
  • සුදුසුකම් ලැබිය හැකි අවස්ථා: පාකිස්තානය පරාජය කිරීම හෝ ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ඉතිරි තරගවලින් එකක් පරාජය වීම. හෝ පාකිස්තානයට හා ඇෆ්ගනිස්ථානයට වඩා දල ලකුණු වේගයක් (NRR) පවත්වා ගැනීම.

ජයග්‍රහණ දෙකක් සහ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ශ්‍රී ලංකාව සුපිරි හතරේ ලකුණු සටහනේ ඉහළින්ම සිටින්නේ අවසන් මහා තරගයේ ස්ථානයක් හිමිකර ගෙනයි.

ඇෆ්ගනිස්තානය පාකිස්තානය හමුවේ පරාජය වුවහොත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය හැකි වනවා.

ඔවුන් මේ වන විටත් +0.351ක දල ලකුණු වේගයක් හිමිකරගෙන සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර යාමට නම් මේ වන විට 0.126ක දල ලකුණු වේගයක් සහිත පාකිස්තානය සහ -0.589ක දල ලකුණු වේගයක් සහිත ඇෆ්ගනිස්ථානය දැවැන්ත උත්සාහයක් ගත යුතු වනවා.

පාකිස්තානය

  • ඉතිරි තරග: ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව
  • සුදුසුකම් ලැබිය හැකි අවස්ථා: ඔවුන්ගේ ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීම හෝ අවම වශයෙන් එක් තරගයක් හෝ ජයග්‍රහණය කර ඇෆ්ගනිස්ථානයට හෝ ශ්‍රී ලංකාවට වඩා වැඩි දල ලකුණු වේගයක් ලබා ගැනීම හෝ ඔවුන් තරග දෙකම පරාජයට පත් වුවහොත්, ඉන්දියාව ඇෆ්ගනිස්ථානය පරාජය කිරීම සහ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානයට වඩා වැඩි දල ලකුණු වේගයක් පවත්වා ගැනීම.

පාකිස්තානය පසුගිය ඉරිදා ඉන්දියාවට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තිබූ පළමු බාධකය ජය ගැනීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානයට සහ ඉන්දියාවට වඩා වැඩි දල ලකුණු වේගයක් පවත්වා ගෙන ගියහොත්, Babar Azamගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමට තරඟ එකක් හෝ දෙකම පරාජය වුවද අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනවා.

ඇෆ්ගනිස්ථානය

  • ඉතිරි තරග: පාකිස්තානය සහ ඉන්දියාව
  • සුදුසුකම් ලැබිය හැකි අවස්ථා: තරග දෙකම ජයග්‍රහණය කරමින් පාකිස්තානයට හෝ ශ්‍රී ලංකාවට වඩා වැඩි දල ලකුණු වේගයක් පවත්වා ගැනීම හෝ ඉන්දියාව හෝ පාකිස්තානය පරාජය කිරීම සහ පාකිස්තානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී එම කණ්ඩායම් දෙකටම වඩා වැඩි දල ලකුණු වේග‍යක් සමඟ අවසන් කිරීම.

ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම සහ ඔවුන්ගේ දල ලකුණු වේගය -0.589ක් ලෙස සටහන්ව තිබීම Mohammad Nabiගේ අවසන් තරග බලාපොරොත්තු තරමක් දුරස් කර ඇතත්, එය කළ නොහැකි කාර්යයක් වන්නෙ නැහැ. ඔවුන්ගේ ඉතිරි තරග දෙකම ජයගෙන ඔවුන්ගේ අවාසිදායක දල ලකුණු වේගය නිවැරදි කළහොත් ඔවුන්ට තවමත් අවසන් තරඟයේ අසුනක් හිමිකරගත හැකිවනවා.

ඉන්දියාව

  • ඉතිරි තරග: ඇෆ්ගනිස්ථානය
  • සුදුසුකම් ලැබිය හැකි අවස්ථා: ඇෆ්ගනිස්ථානය පරාජය කිරීම සහ පාකිස්තානය ඔවුන්ගේ තරග දෙකම පරාජයට පත් වීම.

සුපිරි 4 අදියරේ දී ඉන්දියාව ලැබූ පරාජයන් දෙක සමඟින් ඔවුන්ගේ අවසන් තරග බලාපොරොත්තු සෙසු කණ්ඩායම් තුන මත රඳා පවතිනවා. තරගාවලියට පෙර බොහෝ දෙනා අනාවැකි පල කළ ඉන්දියා – පාකිස්තාන ආසියානු කුසලාන අවසන් මහා තරගය දැනටමත් සමීකරණයෙන් බැහැර වී තිබෙනවා.

ඔවුන්ගේ අවසන් තරගයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව විශාල ජයග්‍රහණයක් ලැබුවද Rohit Sharmaගේ කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණීමට ඇති අවස්ථාව ඉතාමත් සුළු වනවා.

ආසියානු කුසලාන තරගාවලියේ සෙසු තරග කාලසටහන මෙසේයි

  • සැප්තැම්බර් 07 – ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය – සාජා හිදී
  • සැප්තැම්බර් 08 – ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව – ඩුබායි හිදී
  • සැප්තැම්බර් 09 – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය – ඩුබායි හිදී

අවසන් තරගය

  • සැප්තැම්බර් 11 – ඩුබායි හිදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<