අළුබඳුන තවදුරටත් ඕස්ට්‍රේලියාව සන්තකයේම රැඳෙයි

The Ashes 2023

1996
Pat Cummins

2023 අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (23) ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේ තවදුරටත් අළුබඳුන කුසලානයේ අයිතිය ඕස්ට්‍රේලියාව සන්තකයේ ම රඳවමිනුයි. 

2017 වර්ෂයේ දී 4-1ක් ලෙස එංගලන්තයට එරෙහිව අළුබඳුන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙතෙක් ඕස්ට්‍රේලියාව විසින් අළුබඳුන තරගාවලියක් පරාජය වී නොමැති නිසා කුසලානය ඕස්ට්‍රේලියාව සතු ව පැවතුණා 

මෙවර තරගාවලියේ ද පළමු තරග දෙක ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කළ අතර, තෙවැනි තරගය එංගලන්තය විසින් ජයග්‍රහණය කිරීම නිසා තරගාවලිය 2-1 මට්ටමේ ජීවමාන ව රැඳී තිබුණා.  

නමුත් ඊයේ නිමා වූ තරගාවලියේ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මෙවර තරගාවලියෙන් ද ඕස්ට්‍රේලියාවට පරාජයක් උරුම වීමට කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. 

නමුත් තරගාවලියේ අවසන් සහ පස්වැනි තරගය එංගලන්තය විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වනු ඇති. 

එංගලන්තයේ මැන්චෙස්ටර් හිදි පැවැත්වුණු තරගාවලියේ සිව්වැනි තරගයේ වැඩි වාසි එංගලන්තය සතු වූ නමුත් අවසානයේ එහි ජයග්‍රහණය හිමි වුනේ නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවටයි 

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 317ක් ලබා ගත් අතර, එංගලන්තය විසින් ඊට එරෙහිව අති දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කලේ ලකුණු 592ක් සමඟිනුයි. 

ඊට පිළිතුරු ලෙස සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කළ ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටි මොහොතේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර, ආසන්න වශයෙන් තරගයේ අවසන් දින දෙක ම එම වර්ෂාව හමුවේ සේදී ගියා. 

ඒ වන විටත් ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට වඩා ලකුණු 61ක් පිටුපසින් සිටි අතර වර්ෂාව ඇද නොහැළුණා නම් එය එංගලන්තය සතු විය යුතු ජයග්‍රහණයක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුනා. 

එමෙන්ම එංගලන්ත නායක Ben Stokes විසින් ද තමන් සහ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය උපරිම උත්සාහය දැරූ බවයි සඳහන් කරන්නේ. 

“අපි හැමවිටම ඉදිරි පාදයට පැමිණෙමින් අපිට හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට උත්සාහ කරනවා. එය මෙහි සිටින අනෙක් ක්‍රීඩකයින් දස දෙනාගේ නායකයා විදිහට මට මහත් ආඩම්බරයක්. අවසන් දින දෙක තුළ දී අපට පැය තුනක් පමණක් ක්‍රීඩා කිරීමට ලැබීම අවාසනාවක්.” 

එමෙන්ම Ben Stokes විසින් එංගලන්ත නායකත්වයට පත් වීමෙන් පසු (Brendon McCullm සමඟ Bazball තරග රටාව හඳුන්වා දීමත් සමඟ) ක්‍රීඩා කළ 17 වැනි තරගය මෙය වූ අතර, එම තරග 17න් ම ජය පරාජයකින් තොරව අවසන් වූ එකම තරගය මෙය වීමත් විශේෂත්වයක්. 

  • Stokesගේ තරග වාර්තාව: තරග – 17, ජයග්‍රහණය 12, පාරජයන් – 4, ජය පරාජයෙන් තොර – 1 

“මම හිතන්නේ එය අපේ පළමු ජය පරාජයෙන් තොර වූ අවස්ථාවයි. අපි උපරිම උත්සාහ කරමින් මේ දේවල්වලින් ධනාත්මක දේ ලබා ගන්නවා. අපි වචනයේ පරිසමාප්තියෙන් අපට කළ හැකි සෑම දෙයක් ම සිදු කළා. 

කාලගුණය අපිට උදව් කළේ නැහැ, අපිට එය වෙනස් කරන්නත් බැහැ.” 

තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමට තමන් කිසිදු වරදකින් සම්මාදම් නොවුණු බවත්, ක්‍රීඩා කළ සීමිත කාල සීමාව තුළ පවා සිය උපරිමයෙන් ක්‍රීඩා කරමින් තරගයේ ආධිපත්‍යය දැරීමට තම ක්‍රීඩකයින් සමත් වූ බවත් Stokes විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළා. 

මේ අතර හිටපු එංගලන්ත නායකයෙකු වන Michael Vaughan විසින් පවසන්නේ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක James Andersonව මෙම තරගයට ක්‍රීඩා කරවීම තරගයේ තීරණයට දැඩි බලපෑමක් එල්ල කළ බවයි. 

“James Anderson ක්‍රීඩාවේ පුරාවෘත්තයක් නිසා ඔහු මේ තේරීමට සුදුසු බවට අපි කවුරුත් එකඟ වෙනවා. නමුත් එය එංගලන්තයට බලපෑමක් එල්ල කළා. Josh Tonngue කියන්නේ ඔහු ක්‍රීඩා කළ එකම තරගයේ දී ඕස්ට්‍රේලියාවට බලපෑමක් එල්ල කළ තරුණ වේගවත් පන්දු යවන්නෙක්. ඕස්ට්‍රේලියානුවන් ඔහුට මුහුණ දීමට අකමැති බව මම දන්නවා. 

Jimmy, ඔහු මෙම තරගාවලියේ ක්‍රීඩා කළ තරග තුනේ දී ම කිසිම බලපෑමක් එල්ල කළේ නැහැ. ඔහු කිසිම අවස්ථාවක අත්‍යාවශ්‍ය කඩුල්ලක් දවා ගත්ත බවක් මට මතක නැහැ.” 

Anderson වෙනුවට Tongueව කණ්ඩායමට කැඳවීමට තිබූ බවයි Vaughan විසින් සඳහන් කරන්නේ. එමෙන්ම Anderson විසින් දැන් සිය ක්‍රිකට් ජීවිතය පිළිබඳ තීරණයක් ගත යුතු බවත් Vaughan විසින් අවධාරණය කරනවා. 

මේ අතර අළුබඳුන කුසලානය තවදුරටත් තමා සන්තකයේ රැඳුණ ද තවමත් සිය රාජකාරිය අවසන් වී නොමැති බවයි ඕස්ට්‍රේලියානු නායක Pat Cummins විසින් සඳහන් කරන්නේ. 

“ඒක ටිකක් අමුතු දෙයක්. අළුබඳුන රඳවා තබා ගත හැකි වීම පිළිබඳ අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා. නමුත් එය අපේ විශිෂ්ටතම සතියක් වුනේ නැහැ. අපිට ඉදිරි සතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉතිරි වී ඇති බව අපි දන්නවා.” 

එම නිසා තමන් සහ කණ්ඩායම විශාල සැමරුම් වෙත යොමු නොවනු ඇති බවයි Cummins විසින් සඳහන් කරන්නේ. එමෙන්ම මෙවර තරගාවලිය ද 2019 වසරේ එංගලන්තයේ දී පැවැත්වුණු අළුබඳුන තරගාවලියට අතිශයින් සමාන බවයි Cummins විසින් සඳහන් කරන්නේ. 

එවර තරගාවලියේ ද තරග 4ක් නිමා වන විට 2-1ක් ලෙස ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටියා. නමුත් පස්වැනි තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වීමත් සමඟින් තරගාවලිය සම මට්ටමින් අවසන් වුනා. 

1972 වසරේ දී අළුබඳුන තරගාවලියක් සම මට්ටමින් අවසන් වීමෙන් පසුව නැවත එවැන්නක් සිදු වුනේ ද 2019 වසරේ දීයි. දැන් නැවතත් අඩුම තරමේ එවැනි අවස්ථාවක් වෙත හෝ යාමට එංගලන්තයට උත්සාහ දැරිය හැකියි. 

එමෙන්ම ඕස්ට්‍රේලියාව විසින් 2001 වසරෙන් පසුව තවමත් එංගලන්තය තුළ දී අළුබඳුන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. මෙවර තරගාවලියේ පස් වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමෙන් හෝ එම තරගය ජයග්‍රහණය කිරීම මගින් ඕස්ට්‍රේලියාවට එම ඓතිහාසික ජයග්‍රහණය වෙත යෑමට ද අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා. 

මේ අනුව එළඹෙන 27 (බ්‍රහස්පතින්දා) ආරම්භ වීමට නියමිත පස්වැනි අළුබඳුන තරගයේ තීරණත් සමඟින් ඉහත අවස්ථා වලින් එකක් ඔබට දැක බලා ගැනීමට අවකාශය ලැබෙනු ඇති. 

2023 අළුබඳුන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<