භානුකගේ ආබාධය බරපතළ නැහැ; වනිඳුත් 10 වැනිදා RCB සමඟ එකතු වෙයි!

IPL 2023

501
IPL 2023

තමන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ආබාධයකට ලක් වූ Royal Challengers Bangalore කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Reece Topley හට නැවතත් එංගලන්තය බලා පිටත්ව යාමට සිදු වී තිබෙනවා.

එමෙන්ම ඔහු එංගලන්තය බලා පිටත්ව යද්දී, එංගලන්තයේ සිට Liam Livingstone ඉන්දියාව බලා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් නවතම ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබෙනවා.

ප්‍රවේගකාරී පිතිකරු Liam Livingstone අප්‍රේල් මස 10 වැනිදා ඉන්දියාවට

Punjab Kings නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක Liam Livingstone සඳුදා දිනයේ (10 වැනිදා) සිය කණ්ඩායම සමඟ එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීමෙන් පසු ඇති වූ ආබාධ තත්වයක් නිසා ඔහුට මේ දක්වා එකදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

ඊයේ (06) දිනයේ සිය IPL ආගමනය පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරමින් Livingstone විසින් පවසා සිටියේ ඉදිරි පැය 48 ඇතුළත තමාගේ පිටත්ව යාමට ECB වෙතින් අවසර ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

Livingstoneගේ පාදයේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු වූ අතර මේ වන විට සිය සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරී ඇති බවයි Livingstone පවසා සිටින්නේ.

2022 IPL තරගාවලියේ Punjab Kings කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත් වූ Livingstone ලකුණු 437ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළේ 182.08ක් වැනි ඉහළ අගයක සිය ප්‍රහාරාත්මක වේගය ද රඳවා ගන්නා අතරේ දීයී. එමෙන්ම ඔහු පන්දු යැවීමෙන් කඩුලු 6ක් ද බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම Punjab Kings කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Kagiso Rabada ද මේ සතියේ කණ්ඩායම සමඟ එක් වන බව දැන ගන්නට ලැබෙනවා.

Reece Topley වෙනුවට Wayne Parnell RCB සංචිතයට තෝරා ගනී!

මේ අතර Royals Challengers Bangalore නියෝජනය කරමින් සිය පළමු IPL තරගය ක්‍රීඩා කළ (Mumbai Indiansට එරෙහිව) Reece Topley හට යැවීමට හැකියාව ලැබුණේ පන්දුවාර දෙකක් පමණයි.

තරගයේ පන්දු රැකීමේ නිරත ව සිටින විට ආබාධයකට ලක් වූ Topley තරගයෙන් ඉවත් වූ අතර ඔහුගේ ආබාධය හේතුවෙන් තවදුරටත් තරග කළ නොහැකි බව ඊයේ (06) නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා. ඒ අනුව ඔහු නැවතත් සිය රට බලා පිටත් ව යනු ඇති අතර ඊයේ Kolkata Knight Riders කණ්ඩායමට එරෙහි තරගයේ දී ඔහු වෙනුවට Dawid Willey ව තරගයට යොදා ගැනීමට Bangalore කණ්ඩායමට සිදුවුනා.

මේ සමඟින් Topley වෙනුවට දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Wayne Parnellව RCB සංචිතයට කැඳවීමට කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම Bangalore කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Josh Hazelwood ද තවමත් Bangalore කණ්ඩායම සමඟ එක් වී නොමැති නමුත් ඔහු ද අප්‍රේල් 14 වැනිදා ඉන්දියාව බලා පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තරගයේ ස්වභාවය සහ කණ්ඩායම් සංයුතිය අනුව Parnell හෝ Hazelwood යන දෙදෙනාගෙන් එක් අයකු පමණක් Bangalore නියෝජනය කරනු ඇති බව අනුමාන කළ හැකියි.

වනිඳුගේ පැමිණීම සහ භානුකගේ ආබාධය

මේ අතර ඊයේ Bangalore විසින් Knight Riders හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් පසුව බොහෝ RCB රසිකයින්ගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ වනිඳු හසරංගගේ පැමිණීමයි. නවසීලන්තය සමඟ තරග සංචාරය නිමා වීමෙන් පසු 10 වැනිදා ඔහු ද RCB සමඟින් එක් වනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

එමෙන්ම Punjab Kings නියෝජනය කරන භානුක රාජපක්ෂ Rajasthan Royals සමඟ පැවැත්වුණු තරගයේ දී ආබාධයකට ලක් වූ නමුත් ඔහුගේ ආබාධය බරපතළ එකක් නොවන බවත් දැන ගන්නට ලැබෙනවා.

ඊයේ රාත්‍රියේ තමන්ගේ ආබාධය බරපතළ එකක් නොවන බවට සඳහන් කරමින් භානුක විසින් ට්වීටර් සටහනක් තබා තිබූ අතර අවශ්‍ය නම් ඉරිදා Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගයට ඔහුට ක්‍රීඩා කළ හැකි බවයි ESPN cricinfo වෙබ් අඩවිය මගින් සඳහන් කරන්නේ.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ නවතම තතු විත්ති මෙන්ම සියලුම තරග ඔබ වෙත සජීවීව සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<