Williamsonගේ ආබාධය දසුන්ගේ IPL ඉරණම තීරණය කරයි!

IPL 2023

3063

මෙවර IPL තරගාවලියේ දී ක්‍රීඩකයින් විසින් ආබාධවලට ලක් වීමේ ප්‍රවණතාව තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි නවතම යාවත්කාලීන වීම ලෙස Gujarat Titans කණ්ඩායම නියෝජනය කළ නවසීලන්ත පිතිකරු Kane Williamsonගේ දකුණු කකුලේ ඇති වූ ආබාධය හඳුන්වා දිය හැකි ඇති අතර, ඒ නිසා ඔහුට මෙවර සම්පූර්ණ IPL තරගාවලියම මග හැරී යන බව පසුගිය දා Gujarat Titans විසින් නිවේදනය කළා.

එමෙන්ම ඒ වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකව සිය කණ්ඩායමට එක්කර ගන්නා බව ද Titans විසින් ඊයේ (04) නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව සිය පළමු IPL තරගාවලි අත්දැකීම ලබා ගැනීමට දසුන් ශානකට මෙවර අවස්ථාව හිමි වී ඇති අතර බොහෝ දුරට මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරයෙන් පසුව ඔහු Titans හා එක් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි. එමෙන්ම ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙනුවෙන් Titans සමඟ කොන්ත්‍රාතුවට එළඹ ඇති බවත් වාර්තා වනවා.

විශේෂයෙන්ම නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලි දෙකේ දී ම දසුන් විසින් ඉතා ඉහළ පිතිකරණ දස්කම් ප්‍රදර්ශනය කළ අතර, ඔහු විසින් ඉන්දියාවට එරෙහිවම දියත් කළ ප්‍රවේගකාරී ඉනිම් නිසා බොහෝ ඉන්දියානු ප්‍රේක්ෂකයින් පවා දසුන්ගේ IPL ආගමනය පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

ආබාධ වල වැඩිම බලපෑම Royal Challengers Bangalore කණ්ඩායමට

මෙවර IPL තරග වාරයේ ආබාධ නිසා වැඩිම බලපෑමක් එල්ල වූ කණ්ඩායමක් ලෙස Royal Challengers Bangalore හඳුන්වා දිය හැකි අතර ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන Josh Hazelwood තවමත් ආබාධයක් නිසා කණ්ඩායම සමඟ එක් වී නොමැති බවත්, අප්‍රේල් සිව්වැනි සතිය වන තෙක්ම ඔහුට Bangalore සමඟ එක් වීමට නොහැකි වනු ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම පසුගිය තරග වාරයේ Bangalore වෙනුවෙන් වාඩාත්ම සාර්ථක පිතිකරුව වූ Rajat Patidar හට මෙවර සම්පූර්ණ IPL තරග වාරය ම අහිමි වී යන බවත් පසුගිය දා දැන ගැනීමට ලැබුණා.

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන Patidar විසින් නිමා වූ IPL තරගාවලියේ දී තරග අටක් පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 333ක් රැස් කිරීමට සමත් වුනා.

නමුත් තවමත් ඔහු වෙනුවට කවුරුන් සංචිතයට ආදේශ කරනවා ද යන්න කණ්ඩායම් කළමනාකාරිත්වය මගින් තීරණය කර නැහැ.

එමෙන්ම පසුගිය සඳුදා (03) Mumbai Indians සමඟ පැවැත්වුණු තරගයේ දී Bangalore කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ජාතික වේගපන්දු යවන ක්‍රීඩක Reece Topley ද ආබාධයකට ලක් වූ අතර, තවමත් ඔහුගේ තත්වය පිළිබඳ නිල වශයෙන් යමක් වාර්තා වී නැහැ.

මේ අතර Kolkata Knight Riders කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතව සිටි Shreyas Iyer මෙවර තරගාවලියේ මුල් භාගයට සහභාගී වීම අවිනිශ්චිත බව මීට පෙර KKR විසින් දැන්වු අතර දැන් ලැබෙන ආරංචි අනුව ඔහුට මෙවර සම්පූර්ණ තරගාවලියම අහිමි වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

ඒ පිළිබඳ BCCI වෙතින් ලැබී ඇති තොරතුරු අනුව Iyer හට මෙවර සම්පූර්ණ තරගාවලිය මෙන්ම ජුනි මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ද මග හැරී යාමට නියමිතයි.

Iyerගේ පිට කොන්දේ ඇති වී ඇති ආබාධය සඳහා සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය බවත්, ඒ නිසා ඔහුට මාස පහක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු වනු ඇති බවත් BCCI මගින් දැන ගැනීමට ලැබී තිබෙනවා.

මේ අනුව Iyerගේ පුරප්පාඩුව ලෙස Nitish Rana දැනට KKR නායකත්වය දරන නමුත්, ඔහුට ද දැන් ඉතිරිව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක් පමණයි. මීට පෙර Shakib Al Hassan ද මෙවර Knight Riders සමඟ ක්‍රීඩා කිරීමට එක් නොවන බව දන්වා තිබූ අතර, Linton Dasගේ IPL පැමිණීමත් දැන් අවිනිශ්චිත තත්වයකයි පසු වන්නේ.

ඒ නිසා Kolkata Knight Riders කණ්ඩායමට මෙවර තරග වාරය සඳහා වෙනත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආදේශ කිරීමට සිදු වී තිබෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබ වෙත හිමි වී තිබෙනවා. ඊට අමතරව තරගාවලියේ සියලු තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<