ඊඩ්න් ගාර්ඩ්න් සම්ප්‍රාප්තිය කල්කටාව සුපිරි ජයකින් සමරයි

185

මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා. ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාමයි.

ඊයේ තම කණ්ඩායම කල්කටා නුවරට ප්‍රවිෂ්ට වීමේ ප්‍රීතීය සමරා නගරයේ බොහෝ වැදගත් ස්ථාන දම් පැහැයෙන් ඒකාලෝක කර තිබුණේ ඉන්දීය ජනතාව සමඟ IPL තරගාවලිය කොතෙක් දුරට බද්ධ වී ඇත්ද යන්න තහවුරු කරමින්.

එසේම ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුල් තරගයේ දී පරාජය කළ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් ඊයේ තරගයට එක්වුනේ ධනාත්මක මානසිකත්වයෙන් යුතුවයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කල්කටාවට ලබා දුන්නා. එතකින් නොනැවතී කල්කටා ඉනිමට ලකුණු 47ක් එක්වන විට ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් බිඳ හෙලීමට ද බැංගලෝරයට හැකි වුනා. එහි දී සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ David Willey පිට පිටම යැවූ පන්දු දෙකකින්  Venkatesh Iyer සහ Mandeep Singhගේ කඩුලු බිඳ දැමීමට සමත් වුනා.

Nitish Rana එක් ලකුණකට දැවී යන්නේ Michael Bracewellගේ දඟපන්දුවක් හරි හැටි කියවා ගැනීමට නොහැකි වීමෙන්. එතැන් පටන් සිව්වැනි කඩුල්ලට ලකුණු 42ක් එකතු කරන්නට Rahmanullah Gurbaz සහ Rinku Singh සමත් වුනා. Gurbaz ඊයේ පන්දු 44කින් ලකුණු 57ක් ලබා ගන්නේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් තම ඉනිම තුල අන්තර්ගත කරම්න්.

නැවතත් 12 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන Karn Sharma අනුයාත පන්දු දෙකකින් Gurbazව සහ කොදෙව් සුපිරි ක්‍රීඩක Andre Russellව දවා ගත්තා. මේ මොහොතේ තරගය ඕනෑම දෙසකට නැඹුරු විය හැකිව තිබූ මොහොතක කල්කටාව තරගය තුල ඔසවා තබන්නේ 31 හැවිරිදි Shardul Thakur විසින්. ඔහු ඊයේ බැංගලෝර් පන්දු යවන්නන් සන්තාපයට පත් කරමින් පන්දු 29කින් ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

Shardul අනෙක් අන්තයේ සිටි Rinku Singh සමඟ එක්වී 6 වැනි කඩුල්ලට වේගවත් ශතක සබඳතාවයක් ද ගොඩ නැගීමට සමත් වුනා. Rinku Singh ඊයේ කල්කටා ඉනිම ස්ථාවර කරමින් පන්දු 33කින් ලකුණු 46ක් රැස් කළා. Mohommed Sirajගේ පන්දුවක් හමුවේ දැවී යන විට Thakurගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 3කින් හැඩ වී තිබුණා.

එසේම මෙම ප්‍රවේගකාරී ඉනිම් නිසා ඊයේ ලකුණු 180කින් පමණ සෑහෙන්නට සිටි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 204ක් ලබා ගැනීමට ද හැකි වුනා. ඒ ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ළඟා වීමට නොහැකි ඉලක්කයක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ඇරඹූ Kohli සහ Plessis පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කරන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්. නමුත් පවර්ප්ලේ අවස්ථාව තුල දී ම ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට බැංගලෝරයට හැකි වුනා. ඒ Sunil Narine සහ Varun Chakaravarthy යැවූ පන්දු දෙකක් මෙම සුපිරි පිතිකරුවන් දෙදෙනාගේ කඩුලු බිඳ හෙළු නිසයි.

ඒ වන විට පන්දු 12කින් ලකුණු 23ක් ලබා දැවී යන Plessis කිසිසේත්ම තමන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වනු ඇතැයි සිතන්නට නැහැ. නමුත් එය එසේම සිදුවුනේ RCB මැදපෙළ ඉතා වේගයෙන් නාය ගිය නිසයි. එහි දී Maxwell ලකුණු 5කට දැවී යද්දී, තුන් ඉරියව් ක්‍රීඩක Harshal Patel ලකුණු නොලබා දැවී යන්නේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි.

Dinesh Karthik රැස් කළේ ලකුණු 9ක් පමණයි. මේ අයුරින් නයිට් රයිඩර්ස් කරණම් ගැසූ තණතිල්ලේ රෝයල් චැලේන්ජර්ස් පිතිකරුවන් කිසිදු පිළිසරණක් නොමැතිව අසරණ වුනා. ලකුණු 96ක් වෙද්දීම ඔවුන්ගේ කඩුලු 9ක්ම දැවී ගිය අතර David Willey නොදැවී රැස් කළ ලකුණු 20ට සහ Akash Deep අවසන් පිතිකරුවා ලෙස ලබා ගත් ලකුණු 17ට පිං සිදු වන්නට අවසානයේ ලකුණු 123ක් කරා යාමට සමත් වුනා.

සුපිරි පන්දු යැවීමක යෙදුනු Varun Chakaravarthy තම දකුණත් පා දඟපන්දුවෙන් පිතිකරුවන් සිව් දෙනෙකු මුලා කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 15ක් පමණක් ලබා දෙමින්. මීට අමතරව නවක ඉන්දීය ක්‍රීඩක Suyash Sharma කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ වීරයා ලෙස තම ක්‍රීඩා දිවියේ විශිෂ්ට දිනයක් නිමා කළ Shardul Thakur සම්මාන දිනා ගත්තා. බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මෙම දැවැන්ත පරාජය ඔවුන්ගේ දල ලකුණු වේගයට ද අහිතකර ලෙස බලපානවා. ඉදිරියේ දී ඔවුන් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ද එක්වීමට නියමිතයි.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20): Shardul Thakur 68, Rahmanullah Gurbaz 57, Rinku Singh 46, David Willey 2/16, Karn Sharma 2/26.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 17.4): Faf Du Plessis 23, Virat Kohli 21, David Willey 20*, Michael Bracewell 19, Akash Deep 17, Varun Chakaravarthy 4/15, Suyash Sharma 3/30, Sunil Narine 2/16.

මේ අනුව කල්කටා කණ්ඩායම මෙම ජයත් සමඟින් ලකුණු සටහනේ අංක 3ට පැමිණි අතර RCB කණ්ඩායම අංක 7 ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සෘන දල ලකුණු වේගයක් ද සමඟයි. මේ වන විට අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් දෙක පමණයි. ඔවුන් තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

අද IPL තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය රාත්‍රී 7.30ට ඇරඹෙනවා. එහි තරග තොරතුරු මෙන්ම සජීවී රූපරාමු වෙනුවෙන් පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<