භානුක IPL වලට තෝර ගත්තේ Kumbleගේ හිතුවක්කාර තීරණයක් නිසා!

IPL 2023

6129
IPL 2023

භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායමට තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු සහ Punjab Kings ප්‍රධාන පුහුණුකරු Anil Kumbleගේ තනි තීරණයක් මත සිදු වූ බව කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා විසින් අනාවරණය කරනවා.

මෙවර IPL තරගාවලියේ දී Punjab Kings නියෝජනය කරමින් විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් තරග බිමට පිවිසෙන අතර, එයින් භානුක රාජපක්ෂ හට ද විශේෂ ස්ථානයක් හිමිවනවා. මෙවර තරගාවලියේ Punjab Kings ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව වේගවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට ද ඔහු සමත් වුනා.

නමුත් රාජපක්ෂට කාලයක පටන්ම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලු ඇති වූ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට පවා ඔහුට එය බාධාවක් වූ අවස්ථා ද මීට පෙර වාර්තා වුනා. මෙම ගැටලුවම Punjab Kings කණ්ඩායමට ද ඇති වූ බව හෙළිදරව් කරන Julian Wood විසින් පවසන්නේ ඒ අවස්ථාවේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Anil Kumble පමණක් අනෙක් අයගේ අදහස් සියල්ල බැහැර කරමින් රාජපක්ෂව සිය කණ්ඩායමට තෝරා ගැනීමට පියවර ගත් බවයි.

“Anil Kumble විසින් ඔහු (භානුක) ක්‍රීඩා කරන ආකාරය දැකලා කිවුවේ ‘මම ඔහුව තෝර ගන්නවා’ කියලා.  අපි ඔහුට කිවුවා භානුකට අවශ්‍ය තරම් හොඳ යෝග්‍යත්වයක් නැති නිසා ඔහුව තෝර ගන්න එපා කියලා.

ඒ වෙලාවේ ඔහු කිව්වේ ‘ඔහුට හයේ ඒවා ගහන්න පුළුවන් නම්, යෝග්‍යතාව ගැන මම සලකන්නේ නැහැ. මට ඔහුව අවශ්‍ය තත්පර 10න් මීටර් 100 දුවන්න නෙවෙයි. මට ඔහුව අවශ්‍ය වෙන්නෙ එන පන්දුවලට හයේ පහර ගහන්න’ කියලා.

2022 වසරේ පටන් Punjab Kings සමඟ එක් වූ භානුක ගිය වර සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 206ක් රැස් කිරීමට සමත් වුනා.

මීට පෙර 2022 වසර ආරම්භයේ දී භානුක හදිසියේම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට පවා තීරණය කළ නමුත් පසුව ඔහු එම තීරණය නැවත හරවා ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වුනා. ඉන්පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙන්ම ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගවල දී ද කැපී පෙනෙන ඉනිම් කිහිපයක්ම දියත් කරමින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නමක් දිනා ගැනීමට සමත් වුනා.

එහි දී ඔහුට එරෙහිව තිබූ ප්‍රධානතම අභියෝගය වූ ශාරීරික යෝග්‍යතා ගැටලුවලින් නැවත ගොඩ ඒමට ඔහු කෙතරම් වෙහෙස වී වැඩ කළා ද යන්න ඔහුගේ යෝග්‍යතා උපදේශක ලෙස කටයුතු කළ Nigel Aaron විසින් මෙසේ හෙළිකරා.

ඔහු මගෙන් ඇහුවා මාසයක් ඇතුළත ශරීර යෝග්‍යතාව සකසා ගන්න පුළුවන් වේවි ද කියලා. එය තාක්ෂණික වශයෙන් තරමක් අසීරු බව මම ඔහුට කිවුවා. මොකද ඔහු මාසයක් ඇතුළත බර අඩු කර ගන්නවා වගේම කිලෝමීටර් 2 දිවීමේ පරීක්ෂණයට අවශ්‍ය යෝග්‍යතාවත් ආරක්ෂා කර ගත යුතු නිසා. ඔහුගේ බර අඩු කිරීම වගේම ශක්තිය රඳවා ගැනීමත් එකම මොහොතක කරන්න සිදු වුනා.

ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් පවා භානුකගේ නිවසේ නැතිව වුවත් ඔවුන් ඉතා විශාල වෙහෙසක් දරමින් මෙම ඉලක්කය ළඟා කර ගත් බව Nigel විසින් Cricbuzz වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබුණා.

මෙවර IPL තරගාවලියේ භානුක නියෝජනය කරන Punjab Kings මුහුණ දෙන දෙවැනි තරගය අද (05) Rajasthan Royals කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති මෙන්ම එහි තරග සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින් ම.

NDTV Sport ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<