ආසියානු පදක්කම් ලාභීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විශේෂ ඇගයීමක්!

Asian Games 2023

332

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ සහ විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ දී රටට අභිමානයක් ගෙන දුන් පදක්කම් ලාභීන් ඇගයීමට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

අද (17) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැත්වුණු විශේෂ වැඩසටහනක දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත එකොළොස් දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ සහකාර භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා. 

මීට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් උපදේශන සහ සංවර්ධන උපදේශක ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම් ලාභිනි සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර, සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික කිත්සිරි ද සිල්වා යන අය ද මෙම අවස්ථාවට සහභාගී වුනා. 

මෙහි දී නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ තරුශි කරුණාරත්න, රිදී පදක්කමක් දිනා ගත් නදීශා ලේකම්ගේ ඇතුළු පදක්කම් ලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුත්, තරුශි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සහ නදීශා ලේකම්ගේගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන අය ඇගයීමට ලක් කරමින් ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනමා තිබුණා. 

තරුශි විසින් ජයග්‍රහණය කළ රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 10ක් සහ ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනයක් ප්‍රධානය කෙරුණු අතර, නදීශා ලේකම්ගේට රිදී පදක්කම වෙනුවෙන් මිලියන 5ක මුදලක් ප්‍රධානය කෙරුණා. 

මීට අමතරව අනෙක් රිදී පදක්කම් ලාභීන් වන පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීශා රාමනායක, සයුරු ලක්ෂිමා සහ ජයේශි උත්තරා යන අයට රුපියල් මිලියනය බැගින් ප්‍රධානය කර තිබුණා. 

එමෙන්ම පුහුණුකරුවන් වූ සුසන්ත ප්‍රනාන්දු හට රුපියල් මිලියන දෙකක් මෙන්ම ප්‍රදීප් නිශාන්තට රුපියල් මිලියනයක් ද ප්‍රධානය කර තිබුණා. 

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහනේ එක් අංගයක් ලෙසයි සංවිධානය කර තිබෙන්නේ. 

මේ අතර මෙම ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<