හිටපු ලෝක ශූරයාට වසර 6ක තහනමක්

ICC Anti-Corruption Tribunal

14945

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක Marlon Samuelsට වහාම ක්‍රියාත්මක වන පරිදි වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

2021 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරගාවලියක් අතරතුර ඔහුට දූෂණ විරෝධී චෝදනා එල්ල වූ අතර පසුව සිදු කළ නඩු විභාගයකින් ඔහු වරදකරු ලෙස තහවුරුව තිබෙනවා.

දෙවතාවක් විස්සයි විස්ස ලෝක කුසලානය සිය කණ්ඩායමට දිනා දීමට විශාල දායකත්වයක් සැපයූ ඔහු ක්‍රීඩාවට අපකීර්තිය ගෙන දෙන සිදු වීමක් සඳහා ලැබූ ත්‍යාගයක් හෝ මුදලක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන නිලධාරියාට වාර්තා නොකිරීම යටතේ ඔහුට මූලික චෝදනා ගොනු කර තිබුණා.

එමෙන්ම ඩොලර් 750ක කුවිතාන්සියක් ඔහු විසින් හෙළි නොකිරීම සහ අදාළ විමර්ශන කටයුතු සඳහා සහය නොදක්වා එයට බාධා හෝ ප්‍රමාද වන ලෙස කටයුතු සිදු කිරීම යටතේ ඔහුට තවත් චෝදනා එල්ල වුනා.

Marlon Samuels හට එල්ල වූ චෝදනා,

  1. වගන්තිය .4.2 – ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියාවක් වෙනුවෙන් ලැබෙන මුදලක්, ත්‍යාගයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ගැන විමර්ශන නිලධාරියා දැනුවත් නොකිරීම.
  2. වගන්තිය 3.4 – ඇමරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි සත්කාරයක් සඳහා අදාළ කුවිතාන්සිය විමර්ශන නිලධාරියාට ලබා දීමට අපොහොසත් වීම.
  3. වගන්තිය 4.6 – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම.
  4. වගන්තිය 4.7 – විමර්ශනයට අදාළ තොරතුරු වසන් කරමින් දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා හෝ ප්‍රමාද කිරීම.

ඒ අනුව Samuels හට 2023 වසරේ නොවැම්බර් මස 11 සිට බලාත්මක වන පරිදි වසර 6ක තහනමක් පැනවෙන අතර එය පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ Alex Marshall ප්‍රකාශ කළේ,

“ඔහු (Samuels) දශක දෙකකට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ දූෂණ විරෝධී සැසි විශාල සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන ක්‍රීඩකයෙක් විදියට ඔහුගේ වගකීම් මොනවද කියලා දැන ගෙන ඉන්න ඕන.

ඔහු දැන් විශ්‍රාම ගොස් සිටියත් නීති කඩ කරන්න ඔහු සහභාගී වෙලා තියෙනවා. මෙම වසර 6ක තහනම වැරදි කරන්න උත්සහ කරන හැමෝටම හොඳ උදාහරණයක්.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<