ICC තීරණ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනයක්

2289
Sri Lanka Cricket

අද (21) ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වුණු ICC සැසිවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මෙම සමුළුවට නිරීක්ෂකයකු ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව පිළිබඳ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන මෙන් ඉල්ලා තිබෙනවා. 

කෙසේ වෙතත් මෙහි දී ICCය විසින් මීට පෙර ලෝක රග්බි සම්මේලනය සහ FIFA විසින් දේශපාලන මැදිහත් වීම් නිසා ශ්‍රී ලංකාවට පැනවූ මේ හා සමාන තහනම් කිරීම් පිළිබඳ සලකා බලමින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට රජයට ප්‍රමාණවත් කාලයක් ලැබී ඇති බව නිගමනය කර තිබෙනවා. 

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ල වූ දේශපාලන බලපෑමක් බවයි ICCය විසින් සඳහන් කර ඇත්තේ. එම නිසා අතුරු කමිටුව බලපැවැත්වෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බවයි මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ. 

මේ අතර මෙම ගැටලුව හේතුවෙන් ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව තිබූ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දී තිබෙනවා. 

එමෙන්ම ලබන වසරේ ජුලි මාසයේ කොළඹ දී පැවැත්වීමට නියමිත ව තිබූ ICC වාර්ෂික සමුළුව පැවැත්වීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICC අරමුදල් සැපයීම ද දැඩි ලෙස සීමා වනු ඇති බවයි මෙම නිවේදනයේ සඳහන් වන්නේ. 

එමෙන්ම ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් පත් කරනා කිසිඳු අතුරු කමිටුවක් පිළිනොගන්නා බව සහ ඡන්දයකින් තේරී පත් වන නිලධාරි මණ්ඩලයක් පමණක් පිළිගන්නා බවත් ICCය විසින් දන්වා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා තවදුරටත් ICCයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයා ලෙස පිළිගනු ඇති බවත් නිවේදනයේ සඳහන්. 

මේ අතර ශම්මි සිල්වා මහතාගේ දැඩි ඉල්ලීම මත මෙම තහනම තිබිය දී ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ICC සහ ද්විපාර්ශවික ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමේ ICC අවසරය හිමි වී ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනය මගින් තහවුරු කර තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<