ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට්වල වෙනස්කම් රැසක්!

ICC Cricket World Cup 2023

1097

ලෝක කුසලාන සිහින බිඳ වැටීමෙන් පසු ගෙවුණු සතියේ පාකිස්තාන ක්‍රිකට් හි විශාල වෙනස්කම් රැසක් සිදු වුනා.

මෙහි දී හිටපු පාකිස්තාන නායක Babar Azamගේ ඉවත් වීම, නව පාකිස්තාන පුහුණුකරු පත් කිරීම සහ නව පාකිස්තාන තේරීම් කමිටු සභාපති ධුරය වෙනස් වීම වැනි සිදුවීම් වලට විශේෂ අවධානයක් යොමු වුනා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තරග 9ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 4ක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානයට ලකුණු සටහනේ හිමි වුනේ පස් වැනි ස්ථානයයි. මෙහි දී පාකිස්තානය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ අතර එම පරාජය පාකිස්තාන ක්‍රිකට් වෙත විශාල පහරක් එල්ල කළ බව නොරහසක්.

අසාර්ථක ලෝක කුසලානයකින් පසුව පසුගිය 15 වැනි දා පාකිස්තාන නායක Babar Azam සියලු තරග ආකෘතිවල නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කළා. මෙම තීරණය Babarගේ තනි කැමැත්ත මත ගත්තා ද, නැතිනම් එය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බල කිරීම මත සිදු වුනා ද යන්න පිළිබඳ යම් සැකයක් ඉතිරි වී තිබෙනවා.

වත්මන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය Zaka Ashraf විසින් දරනු ලබන අතර, මෙම පාලක මණ්ඩලය පත් වී තිබෙන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයක් ලෙසයි. නමුත් එවැනි පාලක මණ්ඩලයකට කණ්ඩායමක පැහැදිලි වෙනස්කම් සිදු කිරීමට බලය නොමැති බවට පාකිස්තාන අධිකරණයක් විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව Babar සිය නායකත්වයට සමු දීමේ තීරණය නොගත්තා නම් එහි වෙනසක් කිරීමට පාලක මණ්ඩලයට හැකි නොවන්නට ඉඩ තිබුණා. මේ නිසාම Babar එම තීරණය ගන්නා තැනට පත් කළා ද යන්න පිළිබවඳ විදෙස් මාධ්‍ය විසින් සැක පල කරනවා. මේ අතර Babar සිය ඉවත් වීම දැනුම් දීමෙන් පසු ඔහුට තවදුරටත් ටෙස්ට් නායකත්වයේ රැඳී සිටින ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුනත් Babar ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වන හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar පවසන්නේ මෙහි දී Babarට අසාධාරණයක් සිදු වී ඇති බවයි. Babar ඉල්ලා අස් නොවිය යුතු මෙන්ම, ඔහුව එතැනට තල්ලු කිරීම ද නොකල යුතු බවයි Akhtar මෙහි දී පවසා තිබුණේ.

කෙසේ වෙතත් Babarගේ ඉවත් වීමෙන් පසුව පාකිස්තාන නායකත්වය හිමි විය යුත්තේ කා හට ද යන්න විශාල ලෙස කතාබහට ලක් වුනා. මෙහි දී Mohommad Rizwan, Shaheen Afridi, Sarfaraz Ahmed යන අයගේ නම් කරළියට පැමිණි නමුත් අවසානයේ ටෙස්ට් නායකත්වය කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අයුරින් Shan Masood හට හිමි වුනා. සාපේක්ෂව එතරම් හොඳ ටෙස්ට් තරග දක්ෂතා දක්වා නොමැති Masoodට මෙම වගකීම හිමි වීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළා.

මේ අතර පාකිස්තාන විස්සයි විස්ස නායකත්වය වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi හට හිමි වුනා. මෙහි දී ඔහුට පාකිස්තාන සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්ව වගකීම් දෙක ම ලබා දෙන බව PCB විසින් පළමුව නිවේදනය කළත්, පසුව එය ඉවත් කර ගනිමින් විස්සයි විස්ස නායකත්වය සඳහා පමණක් Shaheenගේ නම ඉදිරිපත් කළා. පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ එක්දින තරගය පැවැත්වීමට තවත් වසරක පමණ කාලයක් ඉතිරිව ඇති නිසා එක්දින නායකත්වය පිළිබඳ හදිසි තීරණ ගැනීමට අවශ්‍ය නොවනු ඇති.

මේ අතර ලෝක කුසලාන හීන නිමා වීමත් සමඟ පාකිස්තාන වේගපන්දු පුහුණුකරු Morne Morkel සිය ධුරයෙන් ඉවත් වූ අතර, කණ්ඩායම් අධ්‍යක්ෂක ධුරය දැරූ Mickey Arthur සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Grant Bradburn ද සිය වගකීම් වලට සමු දුන්නා. මෙම තීරණ ද PCB බලපෑම මත සිදු වන්නට ඇති බවයි Wisden වෙබ් අඩවිය අනුමාන කරන්නේ.

මේ අනුව හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Hafeezහට පාකිස්තාන කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් අධ්‍යක්ෂක ධුර දැරීමේ වගකීම හිමි වී තිබෙනවා.

මේ අතර හිටපු පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති Inzamam-ul-Haq ද සිය ධුරයෙන් ඉවත් වූ අතර, මේ අනුව එම හිස් තැන පිරවීම සඳහා පසුගිය අගෝස්තුවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Wahab Riazව තෝරා ගත්තා.

පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ තරග සංචාර දෙකකට සහභාගී වීමට නියමිත අතර එම තරගාවලි සඳහා මෙම වගකීම් පත් කර ඇති බව වටහා ගත හැකියි. නමුත් ඒවා දීර්ඝ කාලීන පත් කිරීම් ද යන්න නම් තවමත් තහවුරු වී නැහැ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<