සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං?

236
WBC's proposals
ඩැනී බේකර් (Courtesy – Sport 1)

ලෝක බොක්සිං කවුන්සිලය (World Boxing Council – WBC) විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට වෙනම අංශයක් නිර්මාණය කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙනැවිත් තිබීම ගැන අසන්නට ලැබෙනවා.

මෙතෙක් ඔවුන් පිරිමි හෝ කාන්තා අංශ තුළ තරග කළා. බොක්සිං සම්බන්ධ නියාමන සංගම් අතරින්, සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වෙනත් නීති සහ වෙනත් අංශයක් හඳුන්වා දීම ගැන මුලින්ම යෝජනා කළ ආයතනය WBC ආයතනයයි. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම යෝජනා එළිදැක්වීමත් සමඟ සංක්‍රාන්ති ලිංගිකයන් ඒ ගැන විවිධ අදහස් පළ කළා.

ඇතැම් විවේචකයන් පැවසුවේ මෙසේ වෙනම නීති පද්ධතියක් හඳුන්වා දීම නිසා සංක්‍රාන්ති ලිංගිකයන් අනෙක් ජනයාගෙන් බෙදා වෙන්කෙරෙන බවයි. එමෙන්ම WBC යටතේ එකදු සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩකයෙකු හෝ නොමැති බැවින් ඔවුන් එවැනි තීරණ ගැනීම අමානුෂික බව ඔවුන් පැවසුවා.

WBC විසින් පවත්වා ගෙන යන ප්‍රමිතිය ඉහළ එකක්. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් ක්‍රීඩකයෙකුට ඔවුන් යටතේ ක්‍රීඩා කරන්නට ඉඩ දෙන්නේ නැහැ. හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Deontay Wilder (ඩියොන්ටේ වයිල්ඩර්) සිය පළමු WBC ශූරතාවය වෙනුවෙන් තරග වැදුණේ තරග 25කට පසුවයි.

WBC සභාපති Mauricio Sulaiman (මොරිසියෝ සුලෙයිමාන්) පවසන්නේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අංශයක් හඳුන්වා දීමේ දී “ආරක්ෂාව ප්‍රමුඛතාවය බව”යි.

BBC වෙත WBC ප්‍රකාශකයක් නිකුත් කර තිබුණා. සංක්‍රාන්ති ලිංගිකයන් බොක්සිං ක්‍රීඩාවට ඇතුළත් කරගැනීමට පෙර සම්බන්ධව විශේෂ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතු බවයි.

බොක්සිං ක්‍රීඩාවට පා තැබීමට කැමැත්තෙන් සිටින සංක්‍රාන්ති ලිංගිකයන් පවසන්නේ එය ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් බවයි.

“WBC අපට දොර අරිනවා. ඒක ලොක් කරනවාටත්, වහනවටත් වඩා,” බ්‍රිතාන්‍ය සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Danny Baker (ඩැනී බේකර්) පවසනවා.

ඩැනී බේකර්
ඩැනී බේකර් (Courtesy – mirror.co.uk)

එහෙත් ඇමරිකාවෙන් ආ සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Patricio Manuel (පැට්‍රීෂියෝ මැනුවෙල්) පවසන්නේ වෙනස් අදහසක්.

“මගේ ක්‍රීඩාවේ පුරෝගාමියෙක් වෙන WBC බොක්සිං වළල්ල ඇතුළේ මට පිරිමියෙක් හැටියට ඉඩක් නෑ කියලා දැනගන්න ලැබෙන එක, හදවත බිඳින සුළුයි,” ඔහු පැවසුවා.

ඩැනී බේකර් පවසන්නේ,

“මම පිරිමියෙක්. මම සටන් වදින්නේ ට්‍රාන්ස් එක්කෙනෙක් එක්ක නම්, අපි පිරිමි. අපේ පිරිමිකමේ අඩුවක් වෙන්නේ නෑ,” යනුවෙන්.

35 හැවිරිදි බේකර් බන්ධනාගාර ගතවෙමින් සහ ඉන් පිටවෙමින් සිටි අයෙක්. එහෙත් බොක්සිං ක්‍රීඩාව ඔහුගේ දිවි බේරාදුන්නේ යැයි ඔහු පවසනවා.

“මට ඒක ලොකු දෙයක්. (සංක්‍රාන්ති ලිංගික) ප්‍රජාවට ඒක ඊටත් වඩා ලොකු දෙයක්”, බේකර් පැවසුවා.

“WBC එක අලුත් බරපන්තියක් නිර්මාණය කරනවා කියන්නේ අපට ලෝක මට්ටමේ දී අපට වැඩකරන්න ඉලක්කයක් දෙනවා කියන එකයි,” ඔහු පැවසුවා.

ලෝක පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධ ආයතනය වන Fédération Internationale de Natation (FINA), පසුගිය වසරේ ජුනි මාසයේදී ගත් තීරණයකට අනුව සංක්‍රාන්ති ලිංගිකයන්ව කාන්තා අංශය යටතේ තරග කරවීම සීමා කරන්නට කටයුතු කෙරෙනවා. සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් වෙනම විවෘත අංශයක් හඳුන්වා දීමයි සැලසුම.

රග්බි ලීග්, පාපැදි ධාවනය සහ මලල ක්‍රීඩා වෙනුවෙන් ද එවැනි නීති හඳුන්වා දීමට නියමිතයි.

2018 දෙසැම්බරයේ දී පැට්‍රීෂියෝ මැනුවෙල් ඇමරිකා එක්සත් ජනපදයේ පළමු සංක්‍රාන්ති ලිංගික වෘත්තීය බොක්සිං ක්‍රීඩකයා වුනා. ඔහුගේ මංගල වෘත්තීය තරගයේ දී Hugo Aguilar (හියුගෝ ඇගුයිලාර්) පරාජය කිරීමට මැනුවෙල් සමත් වුනා.

පැට්‍රීෂියෝ මැනුවෙල්
පැට්‍රීෂියෝ මැනුවෙල් (Courtesy – CNBC)

කාන්තාවක් වශයෙන් සිටිය දී පස් වරක් ඇමරිකානු ආධුනික බොක්සිං ශූරිය වූ මැනුවෙල් 2012 ඔලිම්පික් තරගාවලිය සඳහා වූ තෝරාගැනීමේ තරග සඳහා ද සහභාගී වුනා.

“නරක මොකුත් නොලැබුණු එක ගැන මම කෘතවේදී වෙනවා වගේම බොක්සිං ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහාය වීමයි විශ්වාසයයි මාව පිරිමියෙකු හැටියට පිළිගැනීමයි ගැනත් කෘතවේදී වෙනවා,” ඔහු පැවසුවා.

“ඒත් යතාර්ථයේ දී WBC එක පුරුදු විදියට සංක්‍රාන්ති පිරිමින් පිරිමින් නෙමෙයි හෝ සංක්‍රාන්ති කාන්තාවන් කාන්තාවන් නොවෙයි කියන එක අඟවමින් අමානුෂික වෙනවා,” මැනුවෙල් පැවසුවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<