මුම්බායි පිතිකරුවන් ඇෆ්ගන් දඟපන්දු හමුවේ ඇඹරෙයි!

IPL 2023

258

Mumbai Indians කණ්ඩායමට 2023 IPL තරගාවලියේ දී තවත් අවාසනාවන්ත පරාජයක් උරුම කර දීමට Gujarat Titans කණ්ඩායම ඊයේ (25) සමත් වුනා.

තරගාවලියේ 35 වැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඔහුගෙන් ලද ඇරයුම අනුව ගුජරාටයේ ආරම්භක පිතිකරුවන් ලෙස Wriddhiman Saha සහ Shubman Gill පිටියට පිවිසුණා.

නමුත් ගුජාරාට් ලකුණු පුවරුවට ලකුණු 12ක් එක් වන විට Sahaගේ කඩුල්ල දවා ගැනීමට Arjun Tendulkar විසින් සමත් වූ අතර, ඉන්පසුව පිටියට පිවිසි ගුජරාට් නායක Hardik Pandya සහ Gill විසින් ලකුණු 38ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඊයේ දිනයේ පෙර තරගයේ දී මෙන් සාර්ථක වීමට වරම් නොලද Pandya ලකුණු 13කට දැවී යද්දී Gill විසින් නොනවත්වා ම සිය විශිෂ්ට පිතිකරණයේ නියැලීමට සමත් වුනා.

Pandyaගෙන් පසුව පිටියට පිවිසුණේ මෙවර ගුජරාටය වෙනුවෙන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් දස්කම් පෙන්වමින් සිටින Vijay Shankar වුනත්, ඔහුට ද ඊයේ එතරම් දස්කම් පෙන්වීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ. Gill මෙවර තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට මෙහි දී සමත් වූ අතර, ඔහු සහ Vijay දෙදෙනාගේ ම කඩුලු ලකුණු 101ක් වන විට දවා ගනිමින් තරගයේ යම් වාසියක් අත්කර ගැනීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුනා.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ Abhinav Manohar සහ David Miller විසින් පන්දු 35කින් ලකුණු 71ක සබඳතාවක් පිහිටුවමින් ගුජරාටයේ ඉනිම බලාපොරොත්තු වුවාටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් වූ අතර, එහි දී Abhinav විසින් පන්දු 21කින් ලකුණු 42ක් ලබා ගනිද්දී Miller විසින් පන්දු 22කින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ගුජරාටය වෙනුවෙන් හයේ පහර 7ක් එල්ල කරද්දී, අවසාන මොහොතේ පිටියට පිවිසීමට වරම් ලද Rahul Tewatia විසින් තවත් හයේ පහර 3ක් ඉනිමට එක් කිරීමට සමත් වුනේ පන්දු 5කට පමණක් මුහුණ දෙමිනුයි.

සම්පූර්ණයෙන් ම කණ්ඩායම් හැඟීමෙන් යුතුව ගොඩ නැගුණු ඉනිමක් ලෙස හඳුන්වා දිය හැකි ගුජරාට් ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 207ක් කරා රැගෙන යාමට ඒ අයුරින් එහි පිතිකරුවන් සමත් වුනා.

මෙහි දී මුම්බායි වෙනුවෙන් Piyush Chawla විසින් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිද්දී, Arjun Tendulkar විසින් තමන් යොමු කළ පන්දුවාර දෙක තුල දී ලකුණු 9ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 208ක ඉලක්කයක් හඹා යමින් තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ අභිප්‍රායෙන් පිටියට පිවිසි මුම්බායට බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට ගුජරාට් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක Rohit Sharmaව දවා ගැනීමට Hardik Pandya විසින් සමත් වුනේ මුම්බායි ඉනිමට ලකුණු 4ක් පමණ එක් ව තිබිය දීයි. ඉන්පසුව පන්දු 21කින් ලකුණු 13ක් පමණක් ලබා ගෙන සිටි Ishan Kishanගේ කඩුල්ල මුම්බායි ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී යන්නේ ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී වන අතර ඒ වන විටත් මුම්බායි ඉනිමට එක් වී තිබුණේ ලකුණු 43ක් පමණයි.

kishanව දවා ගැනීමට සමත් වුනේ Rashid Khan විසින් වන අතර, ඔහුගෙන් පසුව පිටියට පිවිසුණ Tilak Varmaව ද ලකුණු 2ක් පමණක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කර දැමීමට නැවත ක්‍රියාත්මක වූ Rashid විසින් සමත් වුනා.

Rashid Khan විසින් පෙන්වා දුන් මාවතේ තවත් දුර යෑමට සමත් වූ Rashidගේ ඇෆ්ගන් කණ්ඩායම් සගයා වන Noor Ahmad විසින් ඉන් පසුව මුම්බායි ඉනිමේ කොඳු නාරටිය වන් මැදපෙළ සම්පුර්ණයෙන් ම බිඳ දැමීමට සමත් වුනේ Cameron Green, Tim David සහ Suryakumar Yadavගේ කඩුලු දවා ගනිමිනුයි.

මුම්බායි ඉනිමේ හයවැනි කඩුල්ල ලෙස Surya දැවී යද්දී ඉනිමේ ලකුණු තත්වය දිස් වුනේ ලකුණු 90ක් ලෙසයි.

ඒ වන විටත් තරගයේ ජයග්‍රහණය ගුජරාටය සතු වී තිබුනත් Nehal Wadhera විසින් තනිවම මිරිඟුවක් හඹා යෑමට උත්සාහ කළේ පන්දු 21කින් ලකුණු 40 රැස් කරමිනුයි. නමුත් ඔහුගේ කඩුල්ල ද මුම්බායි ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස Mohit Sharma විසින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසාන වන විට මුම්බායි ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 152ක් ලෙස දිස් වූ අතර, තරගයෙන් ලකුණු 55ක පහසු ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමට ගුජරාටය සමත් වුනා.

මෙහි දී ගුජරාටය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Noor Ahmad විසින් කඩුලු 3ක් දවා ගනිද්දී, Rashid Khan සහ Mohit Sharma අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස ගුජරාටය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ Abhinav Manohar සම්මාන දිනා ගත්තා.

  • Gujarat Titans 207/6 (20): Shubman Gill 56, David Miller 46, Abhinav Manohar 42, Piyush Chawla 2/34
  • Mumbai Indians 152/9 (20): Nehal Wadhera 40, Cameron Green 33, Noor Ahmad 3/37, Rashid Khan 2/27

Mumbai Indians පරදවමින් Gujarat Titans ලද මෙම ජයග්‍රහණයත් සමඟින් මෙවර IPL ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට තෙක් ඉදිරියට ඒමට ගුජරාටය සමත් වූ අතර, Mumbai Indians කණ්ඩායමට දැන් ලකුණු සටහනේ හිමි වී ඇත්තේ 7 වැනි ස්ථානයයි.

තරගාවලියේ 36 වැනි තරගය අද (26) Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ද ඇතුළු තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වනවා, 2023 IPL තරගාවලියේ උණුසුම් විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<