අක්සාර්ගේ දස්කම් මැද ඉතිහාසයේ අඩුම ලකුණ දිල්ලිය ආරක්ෂා කරයි

548
Sunrisers Hyderabad v Delhi Capitals

මෙවර Indian Premiere League ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ (24) ක්‍රියාත්මක වුනේ හයිද්‍රාබාද් හිදීයි. අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම උණුසුම් තරගය අවසානයේ Delhi Capitals විසින් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 7කින් පරාජය කිරීමට සමත් වුනා.

කාසියේ වාසිය ජය ගත් Delhi Capitals නායක David Warner මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා. ඔවුන් ඊයේ දිගින් දිගටම අසාර්ථක වූ Prithvi Shaw වෙනුවට කණ්ඩායමට ඇතුළත් කර ගත් එංගලන්ත ආරම්භක පිතිකරු Philip Salt ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඒ Bhuvneshwar Kumarට කඩුල්ල හිමිකර දෙමින්.

ඉන්පසු දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 38ක් දක්වා වර්ධනය කර ගන්නට David Warner සහ Mitchell Marsh යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුවත්, ඔවුන් දෙදෙනාටම දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ. මේ නිසා දකුණතින් පිට දඟපන්දු යවන Washington Sundarගේ දස්කම් මැද Delhi Capitals කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 62ක් තුල බිඳ වැටුණා.

8 වැනි පන්දුවාරයෙන් පසු පන්දුවාර 10ක් පමණ ප්‍රතිවාදීන්ට කඩුලු ලබා නොදී සිටින්නට Manish Pandey සහ Axar Patel ක්‍රියා කරන්නේ ලකුණු 100කටත් අඩුවෙන් අවසන් වන්නට තිබූ Delhi ඉනිම ප්‍රමාණවත් ලකුණු පුවරුවක් කරා ගෙන යමින්. මෙහි දී මෙම මැදපෙළ පිතිකරුවන් දෙදෙනාම ලකුණු 34 බැගින් සමසේ ලබා ගැනීම විශේෂත්වයක්.

වඩාත් වේගවත් වූ Pandey ඒ වෙනුවෙන් පන්දු 27ක් පමණක් වැය කරද්දී, Axar පන්දු 34ක් තම ඉනිමට වැය කළා. ඊයේ Bhuvneshwar Kumarගේ පන්දුකරණය මෙවර තරගාවලිය පුරාවට දකින්නට හැකි වූ විශිෂ්ට පන්දු යැවීමක් ලෙස සැලකිය හැකි අතර ඔහු පවර්ප්ලේ පන්දුවාර 2ක් සමඟින් 18 වැනි සහ 20 වැනි පන්දුවාර දෙක ක්‍රියාත්මක කරමින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණයි. මේ නිසා Delhi ඉනිම ලකුණු 144කට සීමා වුනා.

Impact Player නීති හඳුන්වා දීමත් සමඟ ලකුණු 200කට වැඩි ඉනිම් රැසක් මෙවර IPL තරගාවලියේ දැක ගන්නට ලැබුණු නිසා ඊයේ Sunrisers Hyderabad කණ්ඩායමට ලැබුණු ඉලක්කය සාපේක්ෂව ඉතා පහසු ඉලක්කයක් සේ සැළකිය හැකි. නමුත් ඔවුන් එය අනවශ්‍ය ලෙස අවතක්සේරු කළ බැව් මුල සිටම පෙනෙන්නට තිබුණා.

පවර්ප්ලේ පන්දුවාර 6 තුල දී ඔවුන් ලකුණු 36ක් පමණක් ලබා ගත් අතර ශතකලාභී Harry Brook මේ අතරේ දැවී ගියා. ඒ පන්දු 14කින් ලකුණු 7ක් පමණක් ලබා ගැනීමේ පීඩනය පිට කිරීමේ උත්සාහයක් ලෙස එල්ල කෙරුණු අවලස්සන පැඩ්ල්-ස්වීප් පහරක් මගහැරී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු නිසයි. ලකුණු 0 දී Mitchell Marsh උඩ පන්දුව අත්හැරීමෙන් නව පණක් ලද Mayank Agarwal ඊයේ ලකුණු 49ක් රැස් කළා.

මුල්පෙළ පිතිකරුවන් අතරින් වාර්තා වූ එකම සාර්ථක ඉනිම ලෙස මෙය සැලකිය හැකි අතර Rahul Tripathi පන්දු 21කින් ලකුණු 15ක් ලබාගෙන පීඩනය තවත් දැඩි කළා. මේ අවස්ථාවේ පන්දු යැවීමේ වගකීම කරට ගත් Delhi දඟපන්දු යුගලය වන Axar Patel සහ Kuldeep Yadav දිල්ලි ලකුණු වේගය තවදුරටත් අඩාල කළා. එහි දී Axar Patel විසින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි Agarwal සහ නායක Markram පිටියෙන් ඉවත් කිරීම තරගයේ තීරණාත්මක සන්ධිස්ථානය ලෙස සැලකිය හැකි.

මේ අනුව ලකුණු 16ක් තුල දී Sunrisers කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටී අසරණ වෙද්දී අවශ්‍ය කරන ලකුණු වේගය ද පන්දුවාරයකට ලකුණු 10කට ආසන්න වුනා. මේ මොහොතේ Heinrich Klaasen සහ Washington Sundar තරගයේ අවසන් කොටසේ දී ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ ගත්ත ද, මුල්පෙළ පිතිකරුවන්ගේ වැරදි නිවැරදි කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

විශේෂයෙන්ම Markram සහ Klaasen වැනි ක්‍රිකට් ලෝකයේ නමක් දිනූ පිතිකරුවන්ට පෙර Abhishek Sharma සහ Rahul Tripathi වැනි ඉන්දීය පිතිකරුවන් ගැන විශ්වාසය තැබීම Sunrisers කණ්ඩායමේ ගෙල සියතින්ම සිඳ ගන්නා අනුවණ තීරණයක් ලෙස සැලකිය හැකි.

Klaasen පන්දු 19කින් ලකුණු 31ක් ලබාගෙන දැවී යද්දී Washington Sundarට අවසන් පන්දුවාරයට අවශ්‍ය වූ ලකුණු 13 ලබා ගැනීමට නොහැකි වුනා. මෙය Delhi කණ්ඩායම IPL ඉතිහාසය තුල ආරක්ෂා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. තරගය පරාජයෙන් අවසන් වන විට Washington Sundar පන්දු 15කින් ලකුණු 24ක් ලබාගෙන සිටියා. තරගය අවසන් වන විට Sunrisers කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 137ක් පමණයි.

Delhi Capitals – කඩුලු 9ක් දැවී ලකුණු 144 (පන්දුවාර 20): Manish Pandey 34, Axar Patel 34, Mitchell Marsh 25, David Warner 21, Washington Sundar 3/28, Bhuvneshwar Kumar 2/11, T Natarajan 1/21.

Sunrisers Hyderabad – කඩුලු 6ක් දැවී ලකුණු 137 (පන්දුවාර 20): Mayank Agarwal 49, Heinrich Klaasen 31, Washington Sundar 24, Rahul Tripathi 15, Axar Patel 2/21, Anrich Nortje 2/33, Ishant Sharma 1/18, Kuldeep Yadav 1/22.

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් පෑ Axar Patelටයි. ඊයේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟ Delhi Capitals ප්‍රසාද ලකුණු 4ක් සමඟින් Sunrisers Hyderabad සහ Kolkata Knight Riders කණ්ඩායම් සමඟ සම තත්ත්වයට පැමිණියා.

මේ වන විට ලකුණු සටහනේ අංක එකේ වැජඹෙන්නේ ප්‍රසාද ලකුණු 10ක් හිමි කරගත් Chennai Super Kings කණ්ඩායමයි. Indian Premiere League තරගාවලියේ Gujarat Titans සහ Mumbai Indians කණ්ඩායම් අතර තරගය අද (25) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. එම තරගයේ උණුසුම සජීවීව විඳ ගැනීමට පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවියට!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<