ක්‍රීඩා සාහිත්‍ය අගයන එකම සම්මාන උළෙල දෙසැම්බර් 3 වැනිදා

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල - 2021

267

සබුද්ධි සාහිත්‍ය කවය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී මෙවර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය ලෙස නම් කිරීමට  තීරණය කර තිබීම විශේෂත්වයකි.

එසේම මෙරට ක්‍රීඩා සාහිත්‍යයට කරනු ලබන සේවාවන් වෙනුවෙන් විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා යන අංශ තුනටම අදාලව සම්මාන පිරිනැමීමට ද  මෙම සම්මාන උළෙලේ දී සැලසුම් කර ඇත.

මෑතක දී සිය දිවියෙන් සමුගත් ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළම පරිපාලකයෙකු දක්වා ක්‍රීඩා සාහිත්‍යයට කළ සේවාව ඇගයීමක් වශයෙන් මෙසේ අනුස්මරණය කෙරෙනු ඇති බව ද පැවසේ.

ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන්ම සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේ දී මෙවරත්  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍යංශය නිල සහයෝගීතාව දක්වමින් සම්මාන උළෙලට දායක වනු ඇත.

එළඹෙන දෙසැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිත මෙවර සම්මාන උළෙලේ දී පසුගිය වසරේ පිරිනමන ලද සම්මානවලට අමතරව වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය, වසරේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ කෘතිය යන අංශ හතරට අදාළව ද සම්මාන පිරිනැමෙනු ඇත.

තවද මෙම වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ කෘතිය පිළිබඳව සලකා බැලීමේ දී මෙරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳව සකස් කරන ලද ප්‍රකාශන මෙම සම්මාන ඝනයට අයත් වේ. එසේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා මෙතෙක් මෙරට තුළ දී පිරිනමනු ලබන ප්‍රථම ක්‍රීඩා සාහිත්‍ය සම්මානය මෙය ලෙස ද සැලකිය හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන්  එළඹෙන දෙසැම්බර් 3 වැනිදා පස්වරු 3.00ට කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී ආරම්භ වීමට නියමිත  මෙම සම්මාන උළෙලේ දී ඉහත සඳහන් සම්මාන හතරට අමතරව ක්‍රීඩා සාහිත්‍යමය වශයෙන් ඇගයීමට ලක්කරන තවත් අංශ දහයක් ද ඇතුළත් කර ඇත.

එනම් නව මාධ්‍ය, දිනපතා සහ සතිපතා පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය, ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයක කෘතිය, ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය, සබුද්ධි ක්‍රීඩා සම්මානය (වසරේ ජාත්‍යන්තර මට්ටමෙන් ලද ඉහළම ජයග්‍රහණය වෙනුවෙන්), සබුද්ධි රන් සම්මානය (ක්‍රීඩා සාහිත්‍යය වෙනුවෙන් කළ සේවයට ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන) හා වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා යන අංශවලට අදාළව මාධ්‍යවේදීන් සහ සාහිත්‍යවේදීන් සම්මානයට පාත්‍රවනු ඇත.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<