දෝණිගේ සෙවනේ වැඩෙන මහීෂ් – මතීෂ නැවතත් සාර්ථකයි!

IPL 2023

2559

2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා.

මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්. කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

නමුත් ඔහු විසින් ගත් එම තීරණය කෙතරම් වාසිසහගත එකක් දැයි සැකයක් මතු කරවීමට චෙන්නායි සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන Devon Conway සහ Ruturaj Gaikwad සමත් වුනේ ආරම්භක කඩුල්ලට වේගවත් ලකුණු 73ක සබඳතාවක් පිහිටුවමිනුයි. ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දුවාර 7ක් සහ පන්දු 3ක් පමණයි.

චෙන්නායි ඉනිමට අවශ්‍ය ආරම්භය නිරන්තරයෙන් ම ඔවුන් වෙත ලබා දෙන Gaikwad විසින් ඊයේ දිනයේ ද පන්දු 20ක් තුල ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර Suyash Sharmaගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමෙන් අනතුරුව Conway සමඟ පිටියේ එක් වූ Ajinkya Rahane විසින් පැවතියාටත් වඩා වේගයෙන් චෙන්නායි ලකුණු පුවරුව ඉහළ දැමීමට පටන් ගත්තා.

චෙන්නායි ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පන්දු 40කින් ලකුණු 56ක් ලබා සිටි Devon Conwayගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසුණේ චෙන්නායි වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිම් දියත් කිරීම වෙනුවෙන් ම රඳවා ගෙන සිටින Shivam Dubeයි.

එතැන් පටන් Rahane සමඟ එක් වූ Dube කොල්කටා පන්දු යවන්නන්ට රෑ අහසේ තරු පෙන්වීමට මෙන් පන්දුව ගුවනේ ම රඳවා තැබීමට පියවර ගත් අතර ඔවුන්ගේ ලකුණු 85ක සබඳතාව නිමා වෙන්නේ චෙන්නායි ලකුණු පුවරුවේ ලකුණු 194ක් සටහන් වන විට දීයී. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා විසින් වැය කර තිබුණේ පන්දු 32ක් පමණක් වන අතර පන්දු 21කින් ලකුණු ලකුණු 50ක් ලබා ගත් Dubeගේ දැවී යාමත් සමඟයි එම සබඳතාව නිමා වන්නේ. ඒ වන විට Dube විසින් සිය ඉනිම වෙනුවෙන් දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් එක් කර ගෙන තිබුණා.

Dubeගෙන් පසුව Rahaneගේ සහයට Ravindra Jadeja පිටියට පිවිසුණු අතර ඔහු විසින් පන්දු 8කින් ලකුණු 18ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් ද සමඟිනුයි. එමෙන් ම Jadejaගේ දැවී යාමෙන් අනතුරුව චෙන්නායි ඉනිම අවසාන වීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී නායක Dhoni පිටියට පිවිසුණත්, ඊයේ නම් ඔහුට එතරම් යමක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකියාව ලැබුණේ නැහැ.

නමුත් චෙන්නායි ඉනිම නිමා වන තෙක් පර්වතයක් සේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිටියේ රැඳී සිටි, එමෙන්ම ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29ක් තුල ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වෙමින් චෙන්නායි ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 235ක් තෙක් ඔසවා තැබීමට සමත් වුනා.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස බොහෝ දෙනා හංවඩු ගසා ඇති Rahane විසින් දැනට ඉන්දියාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරගවලට ක්‍රීඩා කරන බොහෝ පිතිකරුවන්ටත් වඩා තවමත් තමන් කණ්ඩායමට සුදුසු බවට ද ඉඟි ලබා දුන් ඉනිමක් ලෙස ඔහුගේ මෙම ඉනිම හඳුන්වා දිය හැකි. මෙහි දී Rahane විසින් සිය ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එක් කර ගැනීමට සමත් වුනා.

එමෙන් ම චෙන්නායි ඉනිම අතරතුර කොල්කටාව වෙනුවෙන් පන්දු යැවූ ක්‍රීඩකයින් අතරින් පන්දුවාරයකට ලකුණු ලබා දීමේ අගය 10ට අඩුවෙන් පවා පවත්වා ගැනීමට සමත් වුනේ Suyash පමණයි. අනෙක් සියලු ම පන්දු යවන්නන් චෙන්නායි හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඔවුන් විසින් මෙම තරගයේ දී චෙන්නායි වෙත හයේ පහර 18ක් දායාද කර තිබුණා.

චෙන්නායි විසින් ලබා දුන් විශාල ඉලක්කය හඹා යාමට ප්‍රහාරාත්මක පිතිකරණයක් අවශ්‍ය නිසාවෙන්ම පිතිකරණ රටාවේ වෙනසක් සිදු කරමින් Narayan Jagadeesan සමඟින් Sunil Narine විසින් කොල්කටා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණ ද, ලකුණු පුවරුවට එක් ලකුණක් පමණක් එක් වන විට ඔවුන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට චෙන්නායි ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

ඉන්පසුව පිටියේ එක් වූ කොල්කටා නායක Nitish Rana සහ තරගාවලියේ කොල්කටාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වන Venkatesh Iyer විසින් වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ කළත්, ඔවුන්ට ද වැඩි වෙලා කඩුල්ලේ රැඳී සිටීමට Ravindra Jadeja සහ Moeen Ali ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ නිසා ම වරෙක කොල්කටා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 70ක් ලෙස දිස් වූ අතර ඉන්පසුව පිටියේ එක් වූ Jason Roy සහ Rinku Singh විසින් නැවතත් තරගයේ වාසිය සිය කණ්ඩායම වෙත ගෙන ඒමට උත්සාහ කළා.

මෙහි දී Jason Roy විසින් පන්දු 19ක් පමණක් වැය කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය මෙවර IPL තරගාවලියේ දෙවැනි වේගවත් ම අර්ධ ශතකය ලෙස ද වාර්තා අතරට එක් වුනා. Royගේ පිතිකරණය කෙමෙන් Dhoniට හිසරදයක් බවට පත් වූ බව පෙනෙන්නට තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් විසඳුම ලෙස මහීශ්ව භාවිතා කළා. මහීශ් විසින් Royගේ ඉනිම නිමා කිරීමට සමත් වූ අතර ඉන් පසුව පිටියට පිවිසි Andre Russellගේ ඉනිමට තිත තැබීමට මතීෂ පතිරණ විසින් වග බලා ගත්තා.

ඒ අනුව Rinku Singh පිටියේ තනි කරමින් ඉතිරි කොල්කටා පිතිකරුවන් දඩයම් කිරීමට චෙන්නායි පන්දු යවන්නන් සමත් වූ අතර එහි අවසන් ප්‍රතිඵල වුනේ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කොල්කටා ඉනිම ලකුණු 186කට සීමා වීමයි.

ඒ වන විටත් කොල්කටා ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර ඉන් කඩුලු 2ක් මහීෂ් සතු වුනා. එමෙන් ම මෙම තරගයේ දී ද චෙන්නායි නායක Mahendra Singh Dhoni විසින් තමා කෙරේ තැබූ විශ්වාසයට උපරිම ගෞරවය ලබා දෙමින් මතීෂ තරගයේ අවසාන පන්දුවාර කිහිපයේ වගකීම තමා සතු කර ගනිමින් පන්දු යැවූ අතර, මහීෂ් ද ඔහුගේ සහයට පැමිණෙමින් තරගයේ 19 වැනි පන්දුවාරය ලකුණු 3ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වුනා. මතීෂ විසින් නියමිත පන්දුවාර හතර තුල ලබා දුන්නේ ලකුණු 27ක් පමණයි.

මේ අතර කොල්කටාව වෙනුවෙන් නොදැවී තවත් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට Rinku Singh විසින් සමත් වූ අතර ඔහු විසින් පන්දු 33කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

Kolkataවට එරෙහිව ලද ලකුණු 49ක මෙම ජයග්‍රහණයත් සමඟින් මෙවර තරගාවලියේ පස්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ද Chennai Super Kings සමත් වුනා.

ඒත් සමඟින් ම මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමට ද Chennai කණ්ඩායම සමත් වූ අතර, Chennai හමුවේ පරාජය උරුම කර ගත් kolkataවට හිමි වී ඇත්තේ ලකුණු සටහනේ 8 වැනි ස්ථානයයි.

  • Chennai Super Kings 235-4 (20): Ajinkya Rahane 71*, Devon Conway 56, Shivam Dube 50, Kulwant Khejroliya 2-44, Suyash Sharma 1-29)
  • Kolkata Knight Riders 186-8 (20): Jason Roy 61, Rinku Singh 53*, මහීශ් තීක්ශණ 2-32, මතීෂ පතිරණ 1-27

චෙන්නායි වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ Ajinkya Rahane තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. තරගාවලියේ 34 වැනි තරගය අද (24) Sunrisers Hyderabad සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<