Mark Woodගේ විශිෂ්ට පන්දුකරණය ඉදිරියේ දිල්ලිය දණ නමයි

1470
Lucknow Super Giants vs Delhi Capitals

ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානය මැද ක්‍රියාත්මක වන Indian Premiere League තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (01) රාත්‍රියේ ක්‍රියාත්මක වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතරයි.

එහි දී Kyle Mayers සහ Mark Woodගේ සුපිරි දක්ෂතා නිසා ලකුණු 50ක ජයක් තහවුරු කර ගන්නට ලක්නව් ක්‍රීඩකයින් සමත් වුනා.

ලක්නව් නුවර දී පැවති තරගයේ කාසියේ වාසිය හිමි වුනේ දිල්ලි නායක David Warnerටයි. ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. එම ආරාධනය ඉහළින්ම පිළිගත් ලක්නව් කණ්ඩායම තම ප්‍රේක්ෂකයින්ගේ ඉහළ සහයෝගය ද ඇතිව දිල්ලි පන්දු යවන්නන්ට පහර පිට පහර දෙන්නට පටන් ගත්තා.

නායක KL Rahulගේ කඩුල්ල ලකුණු 19 දී දැවී ගිය ද, දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලක්නව් ලකුණු පුවරුව 98ක් දක්වා ඉහළ ගියා. එහි උරුමකරුවන් බවට පත්වුනේ Kyle Mayers සමඟින් Deepak Hoodaයි. නමුත් Hoodaගේ ඉනිමේ අගය කළ යුතු තරමේ විශේෂත්වයක් නොතිබුනු අතර සබඳතාවයෙන් වැඩි බරක් ඇද්දේ Mayers විසිනුයි.

ඔහු පන්දු 38කට පමණක් මුහුණ දී ලකුණු 73ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 2ක් සහ දැවැන්ත හයේ පහර 7ක් එල්ල කරමින්. හයේ පහරකින්ම ඔහු අර්ධ ශතකය වාර්තා කර ගත්තේ පන්දු 28ක් පමණක් වැය කරමිනුයි. ලකුණු 14 දී ඔහු තමාව දවා ගැනීමේ අවස්ථාවක් දිල්ලි කණ්ඩායමට ලබා දුන්න ද, එය Khaleel Ahmed බිම දැමීම දිල්ලි කණ්ඩායමේ ඉරණම තීන්දු කළා.

ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු වේගය ඉහළ දැමීමට දායක වූ තවත් කොදෙව්වෙකු වන Nicholas Pooran පන්දු 21කින් ලකුණු 36ක් රැස් කළා. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින්. මේ නිසා ලක්නව් කඳවුරට තමන්ට නියමිත පන්දුවාර 20 දී ලකුණු 193ක් ලබා ගැනීමට හැකි වුනා. පන්දු යැවීමේ දී Khaleel Ahmed සහ Chetan Sakaria කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම දැවැන්ත ඉලක්කය පසුපස හඹා යාමට උත්සාහ කළ දිල්ලි කණ්ඩායමට තම ආරම්භය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ. ලකුණු 48ක් වෙද්දී ඔවුන්ගේ වටිනාම කඩුලු 3ක් බිඳ වැටුණා. Mitchell Marsh පළමු පන්දුවෙන්ම දැවී යද්දී, Sarfaraz Khan රැස් කළේ ලකුණු 4ක් පමණයි. Prithvi Shaw ලකුණු 12ක් ලබා ගත්තා.

මෙම කඩුලු තුනම අයිති කරගෙන දිල්ලි ඉනිම අඩපණ කර දැමීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්ත ක්‍රීඩක Mark Woodටයි. ඔහු අද තම විශිෂ්ට පන්දුවාර 4 නිමා කළේ ලකුණු 14කට කඩුලු 5ක් දවා ගනිමිනුයි. මේ නිසාම ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

නායකත්වයේ වගකීම කර පින්නාගෙන සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ David Warner පන්දු 48කින් ලකුණු 56ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 7ක් සහිතවයි. මීට අමතරව දිල්ලි ඉනිමේ එකම සාර්ථක ඉනිම ලෙස නම් කළ හැක්කේ ලකුණු 30ක් රැස් කළ Rilee Rossouwගේ ඉනිම පමණයි.

නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම නිසා කඩා වැටුණු දිල්ලි ඉනිම පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 9කට ලකුණු 143ක් ලෙස සටහන් වුනා. ඒ ගියවර තරගාවලියේ හොඳ සටනක් ලබාදුන් ලක්නව් කණ්ඩායමට මෙවරත් සාර්ථක ආරම්භයක් ලබා දෙමින්.

IPL තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර තරගය අද (02) සවස 3.30ටත්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. එම තරග සියල්ලම සජීවීව නැරඹීමේ අවස්ථාව මෙවර ඔබට ThePapare.com වෙබ් අඩවියෙන්ම උදාකර තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<