චෙන්නායි කඳවුර දෙදරවමින් ගියවර ශූරයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්

402

කණ්ඩායම් 10ක්, ක්‍රීඩාංගණ 12කදී, පුරා දෙමසකට ආසන්න කාලයක් එකම කිරුළක් වෙනුවෙන් සටන් වදින Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියර අද (31) ඉන්දියාවේ අහමදාබාද් හිදී ඇරඹුනා. උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් පසු අද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් ලැබුවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

අද කාසියේ වාසිය ගුජරාට් නායක Hardik Pandyaට හිමිවෙද්දී ඔහු ඉල්ලා සිටියේ MS Dhoni නායකත්වය දරන චෙන්නායි කණ්ඩායමට මුලින් පිතිකරණයේ යෙදෙන ලෙසයි. ඒ අනුව තරගය ඇරඹී වැඩි වේලාවක් යන්නට පෙර තරගාවලියේ මංගල කඩුල්ල ලෙස අද Mohommed Shami විසින් Devon Conwayගේ මැද ඉන්න සහ පිට ඉන්න ගලවා දැමුවේ එක් ලකුණකටයි. එය Shamiගේ සියවැනි IPL කඩුල්ල වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් එක් අන්තයක් රැකගත් Ruturaj Gaikwadගේ ප්‍රවේගකාරී ආරම්භය නිසා චෙන්නායි සුපර් කිංග්ස්වරුන්ට තම ලකුණු වේගය ගැන වදවෙන්නට සිදුවුනේ නැහැ. IPL කරලියට නවකයෙකු වන Joshua Little තම පන්දුවාරයකට ලකුණු 15ක් ලබා දෙද්දී Moeen Ali විසින් Mohommed Shamiගේ පන්දුවාරයකදී ලකුණු 17ක් උදුරා ගැනීමට අද සමත් වුනා.

Rashid Khan ක්‍රියාත්මක කළ සයවැනි පන්දුවාරය ද නාට්‍යමය ජවනිකා රැසකින් පිරුණු එකක්. එහිදී පළමු පන්දුවට ස්වීප් පහරක් එල්ල කළ Moeen Ali කඩුල්ල මුවා කිරීමෙන් වැළකුණේ පන්දුව පා ආවරණයේ දැවටෙන්නට පෙර යන්තම් අත් ආවරණයේ ගෑවුනු නිසයි.

තෙවැනි පන්දුවට ඔහු කඩුල්ල මුවා කළ බවට විනිසුරු තීරණය කළද තෙවැනි විනිසුරු එය නිශ්ප්‍රභ කළා. සිව්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ Ali පස්වැනි පන්දුවට Rashid Khanටම කඩුල්ල ලබා දෙමින් දැවී ගියා. මේ අනුව පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී චෙන්නායි සුපර් කිංග්ස් කඩුලු 2කට ලකුණු 51ක් ලබා සිටියා.

පන්දු 23කින් මෙවර IPL පිටියේ මුල්ම අර්ධ ශතකය වාර්තා කරගත් Gaikwad අද මුළු ලකුණු 92ක් රැස් කළා. ශතකයට මෙපිටින් ඔහු දැවී ගියේ Alzarri Joseph යැවූ ෆුල්ටොස් පන්දුවකටයි. එය සීමාවෙන් ඉහළ නීති විරෝධී පන්දුවක්ද යන්න සලකා බැලූ තෙවැනි විනිසුරු දැවී යාම තහවුරු කළේ Gaikwadට ශතකය අහිමි කරමින්. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 9කින් හැඩවුනා.

සුපිරි එංගලන්ත ක්‍රීඩක Ben Stokes ලකුණු 7කට දැවී යද්දී, IPL තරු ලෙස සැලකෙන Ambati Rayudu සහ Ravindra Jadeja අද කැපී පෙනෙන දස්කම් දැක්වීමට අසමත් වුනා. වයස 41ක් වුවත් තවමත් IPL පිටිය හැරදා යාමට අකමැති MS Dhoni පන්දු 7කින් නොදැවී ලකුණු 14ක් රැස්කළා. මේ අනුව පන්දුවාර 20 අවසන් වනවිට චෙන්නායි ඉනිම කඩුලු 7කට ලකුණු 178ක් ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී සුපුරුදු පරිදි සුපිරි පන්දු යැවීමක යෙදුනු ඇෆ්ගන් ක්‍රීඩක Rashid Khan කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 26ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. මීට අමතරව Mohommed Shami සහ Alzarri Joseph ද කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ අනුව ලකුණු 179ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 37ක් එකතු කරන්නට Wriddhiman Saha සමඟින් එක්වුනු Shubman Gillට හැකිවුනා. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 4ක් පමණයි. නවක ක්‍රීඩක Rajvardhan Hangargekarගේ පන්දුවක් හමුවේ Saha දැවී යනවිට පන්දු 16කින් ලකුණු 25ක් ලබා සිටියා.

21 වැනි වියේ පසුවන Sai Sudarshan ලකුණු 17යි. නායක Hardik Pandya අද පෙරලියක් කිරීමට පෙරම දවා ගැනීමට Ravindra Jadeja සමත් වුනා. Vijay Shankar ලකුණු 27යි. ගුජරාට් පිතිකරුවන් හොඳ ප්‍රහාරක වේගයක් රඳවාගත් නිසාම පන්දුවාර 18ක් අවසන් වෙද්දී ඔවුන්ගේ පස්වැනි කඩුල්ල දැවී යනවිට ලකුණු පුවරුවට ලකුණු 156ක් එක්වී තිබුනා.

මේ නිසා අවසන් පන්දුවාර 2ට අවශ්‍ය කළ ලකුණු සංඛ්‍යාව 23ක්. ක්‍රිකට් රසිකයින් ලක්ෂයකට වඩා රැස්කළ හැකි දැවැන්ත ප්‍රේක්ෂකාගාරයන්ගෙන් සමන්විත නමුත් අඩු දුර හතරේ සීමා සහිත නව අහමදාබාද් පිටියේ මෙම ඉලක්කය සපුරා ගැනීමට ගුජරාට් වරුන්ට අපහසු වුනේ නැහැ. එහිදී තරගය අවසන් කෙරුනේ Rashid Khan සහ මෑත කාලයේ සාර්ථකම තරග අවසන් කරන්නෙකු ලෙස IPL පිටියේ නමක් දිනා සිටින Rahul Tewatia අතිනුයි.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළ Shubman Gill පන්දු 36ක් පමණක් වැය කරමින් ලකුණු 63ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟයි. නමුත් තරගයේ වීරයා සම්මානය පිත්තෙන් මෙන්ම පන්දුවෙන් අවශ්‍යම මොහොතේ දස්කම් පෑ රශීඩ් කාන්ට හිමිවුනා.

එතරම් ශක්තිමත් පන්දු බල ඇණියක් රහිතව ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් 20 හැවිරිදි Rajvardhan Hangargekar කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා. කෙසේවෙතත් ගියවර ශූරයින්ව දණ ගැස්වීමට එම දක්ෂතා ප්‍රමාණවත් වුනේ නැහැ.

Indian Premiere League තරගාවලියේ හෙට තරග 2ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පංජාබ් කිංග්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය සවස 3.30ටත්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි.

විශේෂත්වය වන්නේ නිබඳවම ක්‍රිකට් පිපාසයෙන් පෙළෙන ඔබ වෙනුවෙන්ම IPL තරගාවලියේ සියලු තරග ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමේ හැකියාවද මෙවර ලබා දී තිබීමයි. ඒ සෑම අයුරකින්ම IPL තරගාවලියේ මිහිර විඳ ගන්නට රැඳී සිටින්න අප සමඟම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<