IPL කියන්නේ තවත් එක ලීග් එකක්ම නෙවෙයි!

IPL 2023

361

2023 Indian Premier League තරගාවලිය ආරම්භ වෙන්න තවත් දින කිහිපයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ.

2008 වර්ෂයේ දී පළවෙනි වරට ආරම්භ වුන IPL තරගාවලියේ 16 වැනි සංස්කරණය (Edition) තමයි මේ අවුරුද්දේ පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ.

ආරම්භයේ දී කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ තරගාවලිය 2011 දී කණ්ඩායම් දහයක් දක්වා ප්‍රසාරණය වුනා, නමුත් 2014 පටන් නැවතත් කණ්ඩායම් 8කින් මේ තරගාවලිය පවත්වන්න සංවිධායකයින්ට සිදු වෙනවා.

වරින් වර IPL තරගාවලියට කණ්ඩායම් එකතු වුනා, සමහර කණ්ඩායම් කාලයක් යද්දී නැති වෙලා ගියා. ඒ හැම දෙයකට ම පස්සේ 2022 දී ආයෙත් අලුත් කණ්ඩායම් දෙකක් (Gujarat Titans සහ Lucknow Super Giants) තරගාවලියට එකතු වෙනවාත් එක්කම මුළු කණ්ඩායම් සංඛ්‍යාව දහයක් බවට පත් වුනා.

ගියවර ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Gujarat Titans කණ්ඩායම

කණ්ඩායම් ප්‍රමාණය වැඩි වීමත් සමඟම පැවැත්වෙන තරග ප්‍රමාණය ඉහළ ගිහින්, මේ වසරේ IPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවත් වැඩි වෙලා. ඒ වගේම පිරිසක් මේ ඉන්දියානු ආධිපත්‍ය සෑහෙන්න විවේචනය කරන බව රහසක් නෙවෙයි. ICC තරග කැලැන්ඩරයට IPL මගින් සෑහෙන්න තරමක (අනෙක් ලීග් තරගාවලිවලට වඩා) බලපෑමක් එල්ල වෙන බවත් නොරහසක්.

කොහොම නමුත් අද වෙද්දී IPL කියන්නේ වාර්ෂික ක්‍රිකට් සැණකෙළියක් බවට පත් වෙලා හමාරයි, ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ඉන්දියානු ආක්‍රමණය පිළිගන්න සිද්ධ වෙලා.

ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ලීග් තරගාවලි ප්‍රමාණය අත් දෙකේම ඇඟිලි ගාණටත් වඩා වැඩි වෙද්දී, ඒ අතරින් නිල නොවන ප්‍රමුඛ ස්ථානය හිමි වෙලා තියෙන්නේ IPL වලට.

ඉතින් IPL කියන්නේ අපිට මග හැරලා යන්න පුළුවන් ක්‍රීඩා සැණකෙළියක් නෙවෙයි!

අන්න ඒ IPL ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක් තමයි මේ,

IPL ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම මොකක්ද කියන එක විශේෂයෙන්ම IPL රසිකයින් අතර තියෙන විශාල විවාදවලින් එකක්. ඒකත් හරියට වැඩියෙන්ම හොඳ Ronaldo ද, එහෙම නැත්නම් Messi ද කියලා විවාද කරනවා වගේ දෙයක්.

Mumbai සහ Chennai අතර පැවැත්වෙන ඕනෑම තරගයක් ඉතාම උණුසුම් ස්වභාවයක් ගන්න එක අනිවාර්යය දෙයක් (Image Source – Cricket World)

මීට පෙර පැවැත්වුණු තරගාවලි 15ම ක්‍රීඩා කරන්න සමත් වුන කණ්ඩායමක් වෙන Mumbai Indians මේ වෙද්දී IPL ශූරතා 5ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙන්නේ ඔවුන් සහභාගී වුන IPL අවසන් මහා තරග 6ක් අතරින්. ඒ අතින් බැලුවහම Mumbai Indiansට යම් අභියෝගයක් හෝ එල්ල කරන්න ඉතුරු වෙන්නේ Chennai Super Kings පමණයි.

Super Kings විසින් මේ වෙද්දී IPL ශූරතා 4ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් ඒ ජයග්‍රහණ හතර ලබා ගන්නේ අවසන් මහා තරග 9ක් ක්‍රීඩා කිරීමෙන් පසුව.

ඒ වගේම IPL ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාව ක්‍රීඩා කරලා තියෙන්නේ වගේම ජයග්‍රහණය කරලා තියෙන්නෙත් Mumbai Indians. ඔවුන් තරග 231ක් ක්‍රීඩා කරලා ඉන් තරග 129ක් ජයග්‍රහණය කරන්නේ ජයග්‍රාහී ප්‍රතිශතය 56.7ක අගයක තබා ගන්න ගමන්. නමුත් ඉහළම ජයග්‍රාහී ප්‍රතිශතය (58.41) සඳහන් වෙන්නේ Chennai Super Kings නමට. ඔවුන් තරග 209කින් තරග 121ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා.

*Gujarat Titans (ජයග්‍රහණ ප්‍රතිශතය -75%) සහ Lucknow Super Giants (ජයග්‍රහණ ප්‍රතිශතය -60%) කණ්ඩායම් මෙතන දී නොසලකා හරින්නේ ඔවුන් එක් IPL තරගාවලියක් පමණක් ක්‍රීඩා කරලා තියෙන නිසා.

Mumbai Indians කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් තරමක් වැඩියෙන් ආදරය කරන්න මාලිංග වගේම සනත් ජයසූරියත් විශාල හේතුවක් වුනා. (Image Source – The Indian Express)

ඒ වගේම මෙතෙක් පැවැත්වුණු IPL තරගාවලි පහළොව නොකඩවා ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙන්නේ කණ්ඩායම් පහක් විතරයි. ඒ තමයි Mumbai Indians, Kolkata Knight Riders, Royal Challengers Bangalore, Punjab Kings සහ Delhi Capitals කණ්ඩායම්. නමුත් විශේෂම සිදුවීම තමයි මේ අතරින් Mumbai සහ Kolkata කණ්ඩායම් හැරෙන්න වෙන කිසිම කණ්ඩායමක් තවමත් IPL ශූරතාවක් දිනා ගන්න සමත් නොවීම.

Mumbai සහ Chennai කණ්ඩායම්වලට පස්සේ IPL වල වැඩිම සාර්ථකත්වයක් පෙන්වපු කණ්ඩායම විදිහට නම් කරන්න පුළුවන් වෙන්නේ Kolkata Knight Riders. ඔවුන් IPL ශූරතා දෙකක් වගේම එක් අනුශූරතාවකුත් ජයග්‍රහණය කරලා තියෙනවා.

Kolkata වලට පස්සේ Rajasthan Royals, Sunrisers Hyderabad, Decan Charges සහ Gujarat Titans කණ්ඩායම් එක් අවස්ථාව බැගින් IPL ශූරතාව ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරින් Decan නම් 2012න් පසුව IPL පිටියෙන් සමුගන්නවා. ඒ වගේම පසුගිය වසරේ IPL ශූරයින් බවට පත් වුන Gujarat Titans කණ්ඩායමේ පළමු IPL තරගාවලිය වුනෙත් 2022 තරගාවලියමයි.

IPL වාර්තා

IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නෙ Royal Challengers Bangalore නියෝජනය කරන සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින්. RCB විසින් IPL ඉතිහාසයේ ක්‍රීඩා කරපු තරග 227න් 223ක්ම ක්‍රීඩා කරපු Kohli සමස්ත ලකුණු 6624ක් ලබා ගන්න සමත් වෙන්නේ සාමාන්‍ය 36.19ක් වගේම ශතක 5කුත් තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කර ගන්න ගමනුයි.

Kohliට පසුපසින් Shikar Dhawan (6244), David Warner (5881), Rohit Sharma (5879), Suresh Raina (5528) මේ ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවෙනවා.

IPL තරගාවලියේ වැඩි පිතිකරණ වාර්තා ගණනක් තමන්ගේ කර ගන්න සමත් වුන පිතිකරුවා Chris Gayle. (Image Source – Cricket Country)

IPL තරගාවලියේ පිතිකරණ වාර්තා ගැන තව දුරටත් විමසීමක් කරනවා නම්,

  • ඉනිමක ලබා ගත් ඉහළම ලකුණු – 175 (Chris Gayle)
  • හොඳම පිතිකරණ සාමාන්‍ය – 48.01 (KL Rahul)
  • ඉහළම ප්‍රහාරාත්මක වේගය (සමස්ත) – Andre Russell (177.88)
  • වැඩිම අර්ධ ශතක – David Warner (55)
  • වැඩිම ශතක – Chris Gayle (6)
  • වැඩිම හයේ පහර – Chris Gayle (357)
  • වැඩිම හතරේ පහර – Shikar Dhawan (684)
  • එක් තරගාවලියක ක්‍රීඩකයකු විසින් රැස් කළ ඉහළම ලකුණු – Virat Kohli (973 – 2016 දී)

ඒ වගේම IPL ඉතිහාසයේ වෙනස්ම වාර්තාවක් තමන් සතු කර ගන්න RCB සමත් වෙන්නේ ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමක ලබා ගත් ඉහළම ලකුණු (263/5 2013 දී) සහ ඉනිමක ලබා ගත් අඩුම ලකුණු (49/10 2017 දී) කියන අවස්ථා දෙකටම සම්මාදම් වෙන ගමන්.

මේ අතර IPL ඉතිහාසයේ ඉහළම කඩුලු ලාභියා බවට පත් වෙලා ඉන්නේ DJ Bravo. ඔහු තරග 161ක් ක්‍රීඩා කරමින් කඩුලු 183ක් බිඳ හෙළද්දී, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මේ සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගන්න සමත් වෙන්නේ තරග 122කින් කඩුලු 170ක් බිඳ හෙළමින්. ඔවුන්ට පසුව Yuzvendra Chahal (166), Amit Mishra (166) වැඩිම IPL කඩුලු ලාභීන් විදිහට පසු පසින් සිටිනවා.

මේ අතරින් මෙවර IPL තරගාවලියේ දී  Chahal විසින් මාලිංග වගේම Bravo වත් අබිබවා යන්න විශාල අවස්ථාවක් තියෙන බවත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

IPL තරගාවලියේ පන්දු යැවීමේ වාර්තා පහළින් දැක්වෙනවා,

  • ඉනිමක හොඳම පන්දු යැවීම – 6/12 (3.4) (Alzarri Joshep)
  • හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය අගය – 17.61 (Adam Zampa)
  • අඩුම ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.37 (Rashid Khan)
  • වැඩිම කඩුලු හතරේ දවා ගැනීම් අවස්ථා – 8 (Sunil Narine)

(අවස්ථා 7ක දී කඩුලු හතර හෝ ඊට වඩා කඩුලු දවා ගැනීම් වාර්තා කිරීම මගින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලසිත් මාලිංග හට හිමි වී තිබෙනවා.)

  • තරගාවලියක වැඩිම කඩුලු – 32 (Harshal Patel)

මීට අමතරව IPL ඉතිහාසයේ පන්දු රැකීමේ වාර්තා පිළිබඳ විමසා බලද්දී දවා ගැනීම් 170කට දායක වෙමින් Chennai Super Kings නායක MS Dhoni විසින් කඩුලු රැකීමෙන් පෙරමුණේ සිටින අතර, පන්දු රකින්නකු ලෙස වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගෙන ඇත්තේ Suresh Raina (109) විසිනුයි.

එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයාගේ වාර්තාවත් MS Dhoni හට හිමි වී ඇත්තේ තරග 234ක් ක්‍රීඩා කරමින් වන අතර ඉන් තරග 210ක් මෙහෙයවීමත් ඔහු විසින්ම සිදු කර තිබීම විශේෂත්වයක්.

ICL නිසා ආරම්භ වුන IPL

IPL තරගාවලිය 2008 දී ආරම්භ වෙන්න පෙර ඉන්දියාවෙන් තවත් විස්සයි විස්ස ලීග් තරගාවලියක් ආරම්භ වුනා. 2007 වර්ෂයේ දී Indian Cricket League කියන නමින් ආරම්භ වෙන මේ තරගාවලියට BCCI වෙතින් අනුමැතිය හිමි වුනේ නැහැ.

මේ ICL තරගාවලිය ආරම්භ වෙන්නේ Zee Entertainment Enterprises යටතේ. මේ ආයතනය යටතේ තියෙන Zee news විසින් තමයි මෑතක දී ඉන්දීය ක්‍රිකට් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් වගයක් සිදු කරන්නත් මුල් වුනේ.

හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙක් වෙන Kapil Devගේ ප්‍රධානත්වයෙන් යුතුව ආරම්භ වෙන මේ ICL තරගාවලියට සහභාගී වෙන ඉන්දීය ක්‍රීඩකයින්ට තරග තහනම් පැනවීම දක්වාම මේ සිදුවීම දුර දිග යනවා.

ඒ වගේම මේ ICL තරගාවලියට විරුද්ධව තවත් ක්‍රිකට් ලීගයක් ආරම්භ කරන්නත් BCCIයට අවශ්‍ය වෙනවා. මොකද මේ ලීගය ඔස්සේ මුදල් උපයන්න වගේම සෑහෙන්න ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන බව ඔවුන්ටත් වැටහෙන්න පටන් ගැනීම නිසා.

අවසානයේ ICL තරග වාර දෙකකින් පසුව නතර වෙනවා, ICL සමඟ තරග කරන්න ආරම්භ වුන IPL අද වෙද්දී ලෝක ක්‍රිකට් වල ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වෙන්න සමත් වෙලා තියෙනවා.

IPL ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථාන කිහිපයක්!

  1. Brendon McCullumගේ ලකුණු 158

IPL තරගාවලිය ආරම්භ වෙද්දී එහි ගැන කිසිවකුට යම් සැකයක් තිබුණා නම් ඒ සැකය දූරිංභූත වෙලා යන්නේ ඉතිහාසයේ පැවැත්වුණු පළවෙනි IPL තරගයේ දීමයි.

RCB සහ KKR අතර පැවැත්වුණු පළමු IPL තරගයෙ දී ම හිටපු නවසීලන්ත පිතිකරු Brendon McCullum විසින් පන්දු 73කින් ලකුණු 158ක් වාර්තා කරන්නේ හයේ පහර 15ක් සිය ඉනිමට එකතු කර ගනිමින්.

  1. Sohail Tanvirගේ 6/14

Alzarri Joshep විසින් දැන් IPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීමට අයිතිවාසිකම් කියුවත් ඔහුට පෙර ඒ වාර්තාව අයිති වෙලා තිබුණේ මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්න පාකිස්තාන වේගපන්දු යවන්නෙක් වන Sohail Tanvir හට. ඔහු Chennai Super Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් බිඳ හෙළන්න සමත් වෙනවා.

අද වෙද්දී පාකිස්තාන ක්‍රීඩකයින් IPL තරගාවලියට සහභාගී නොවීම මේ තරගාවලියේ තියෙන විශාලතම අඩු පාඩුව බවට මීට වඩා හොඳ උදාහරණයක් ඉදිරිපත් කරන්න නැහැ.

  1. මාලිංගගේ 5/13

IPL වල ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලසිත් මාලිංග බව ඕනෑම ක්‍රිකට් රසිකයෙක් අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණයක්. මාලිංග IPL වලදී සිදු කරපු හොඳම පන්දු යැවීම්වලින් එකක් විදිහට Delhi Daredevils කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට ලබා ගත්තු කඩුලු 5 හඳුන්වලා දෙන්න පුළුවන්.

Brendon McCullum විසින් මංගල IPL තරගයේ දී ම දියත් කළ විශිෂ්ට ඉනිම අතරතුර (Image Source – The Quint)
  1. Gayleගේ ලකුණු 175

Pune warriors කණ්ඩායමට එරෙහිව Chris Gayle විසින් පන්දු 66කින් වාර්තා කරපු ලකුණු 175 IPL ඉතිහාසයේ දියත් වුණු විශිෂ්ට ඉනිම බව අවිවාදයෙන් යුතුව හඳුන්වා දෙන්න පුළුවන්.

Chris Gayle කියන්නේ IPL තරගාවලියේ ප්‍රධාන බල කණුවක්. ඔහුගේ විශිෂ්ටතම ඉනිම වුණු මේ ඉනිම වෙනුවෙන් ඔහු හයේ පහර 17ක් ඇතුළත් කරන්න සමත් වෙනවා.

IPL ඉතිහාසය තවත් සෑහෙන්න සවිස්තරාත්මක ව විස්තර කළ යුතු වුනත් අනවශ්‍ය ලෙස ලිපිය දිග වැඩි වීම නතර කළ යුතු නිසා ලිපියට එක් නොවුනත් ඉහත කරුණු වලට අමතරව එක් වෙන්න ඕන තවත් සුවිශේෂී සංධිස්ථාන රැසක් තියෙනවා.

ඒ අතර Amit Mishraගේ කඩුලු ත්‍රිත්ව 3, Michael Husseyගේ ලකුණු 116, Murali Vijay විසින් 2012 IPL අවසන් මහා තරගයේ දී දියත් කළ ඉනිම, Anil Kumbleගේ 5/5 වැනි සිදුවීම් රැසක් සඳහන් කළ හැකියි.

IPL වල ශ්‍රී ලංකා සහභාගීත්වය

ගියවර IPL තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හය දෙනා අතරින් මෙවර ඉතුරු වෙලා ඉන්නේ සිව් දෙනෙක් පමණයි.

අවාසනාවන්ත විදිහට චාමික කරුණාරත්නට සහ දුශ්මන්ත චමීරට මෙවර IPL තරගාවලිය අහිමි වුනත් තවමත් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීශ් තීක්ෂණ සහ මතීෂ පතිරණ කියන ක්‍රීඩකයින් හතර දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් IPL තරගාවලිය නියෝජනය කරනවා.

ඒ වගේම ලසිත් මාලිංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිව්ස්, දිල්හාර ප්‍රනාන්දු  වගේ නම් රැසක් අතීතයේ දී IPL තරගාවලිය නියෝජනය කළා.

නමුත් පසු කාලයක දී කිසිම ශ්‍රී ලාංකිකයෙක් සහභාගී නොවුනු IPL තරගාවලි පවා පැවැත්වෙන මට්ටමකට ආවත්, අද වෙද්දී නැවතත් ශ්‍රී ලාංකිකයින් IPL තරගාවලිය නියෝජනය කිරීම තරමක් සාධනීය තත්වයක් බව විශ්වාස කරන්න පුළුවන්.

The history and special records of IPL feature sinhala

ඒ අනුව මෙවර IPL තරගාවලිය මෙම මස 31 වැනිදා සිට ආරම්භ වෙන්න නියමිතයි.

ගියවර ශූරයින් බවට පත් වුන Gujarat Titans සහ IPL ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායමක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන් Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙන්න නියමිත 2023 IPL තරගාවලිය පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා.

ඒ වගේම මෙවර IPL තරගාවලියේ සියලුම තතු විත්ති මේ කාල සීමාව පුරා ඔබ සමඟ බෙදා හදා ගන්න ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<