මාර්තු 31 වැනිදා සිට ඇරඹෙන IPL උන්මාදය!

IPL 2023

275

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව මෙවර Indian Premier League ක්‍රිකට් තරගාවලිය හෙටින් (31) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත අතර හෙට සිට මැයි 28 වැනිදා දක්වා පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දහය අතර තරග 74ක් පැවැත්වීමට ද නියමිතයි.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන අය තරගාවලියට එක්වීමට නියමිත නමුත්, නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය නිසා තවමත් ඉන්දියාවට පැමිණ ඇත්තේ භානුක රාජපක්ෂ පමණයි.

  • වනිඳු හසරංග – Royal Challengers Banglore
  • භානුක රාජපක්ෂ – Punjab Kings
  • මහීශ් තීක්ශණ සහ මතීෂ පතිරණ – Chennai Super Kings

අප්‍රේල් 08 වැනිදායින් පසුව නවසීලන්ත තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් ද මෙම තරගාවලිය හා සම්බන්ධ වනු ඇති බව අපේක්ෂා කළ හැකි.

එමෙන්ම ගියවර IPL ශූරතාව දිනා ගත් Gujarat Titans මෙවරත් Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසීමට නියමිත අතර ඔවුන් සහ Chennai Super Kings, Rajasthan Royals, Mumbai Indians, Royals Challengers Bangalore, Lucknow Super Giants කණ්ඩායම් පමණක් ගියවර තරග සමයේ සිය කණ්ඩායම් නායකයින් සමඟ තරගාවලියට පිවිසෙන අතර අනෙක් සියලු කණ්ඩායම්වල නායකත්වය වෙනස් වී තිබෙනවා.

ඒ අනුව, Kolkata Knight Riders කණ්ඩායම Nitish Rana විසින් ද, Sunrisers Hyderabad කණ්ඩායම Adien Markram විසින් ද, Delhi Capitals කණ්ඩායම David Warner විසින් ද, Punjab Kings කණ්ඩායම Shikar Dhawan විසින් ද මෙවර මෙහෙයවනු ලබනවා.

එමෙන්ම මෙවර ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ආබාධ නිසා තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ අතර කැපී පෙනෙන නම් ලෙස Shreyas Iyer, Rishab Pant, Jasprit Bumrah, Jonny Bairstow, Kyle Jamieson යන අය හඳුන්වා දිය හැකියි.

හෙට උත්සවාකාරයෙන් තරගාවලිය ආරම්භ කිරීමට සූදානම්!

Chennai Super Kings සහ Gujarat Titans අතර තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ඊට පෙර ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 6ට පමණ සුපිරි තරු රැසක් පිරිවරා උත්සවශ්‍රීයෙන් 2023 IPL තරගාවලිය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවර සමාරම්භක උළෙල වෙනුවෙන් Tamannaah Bhatia, Rashmika Mandanna වැනි භාරතයේ සුපිරි නළු නිළියන් මෙන්ම, බොලිවුඩයේ ජනප්‍රියතම ගායකයෙකු වන Arijit Singh ද සහභාගී වනු ඇති බවට දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින් හට ලබා දීමට ThePapare.com සූදානම්.

ඒ නිසා මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව නැරඹීමට මෙන්ම, තරගාවලියේ සියලු තතු විත්ති පිළිබඳ දැන ගැනීම සඳහා ‍රැඳී සිටින්න ThePapare.com සමඟිම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<