තවමත් T20 ලෝක කුසලානයක ජයක් නොලද කැන්ගරු ශූරයෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1877
Team Preview Australia

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතයක් නම් කරන ලද දෙවැනි කණ්ඩායම වූයේ ඕස්ට්‍රේලියාවයි. 18 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සමන්විත වී අත්තේ ප්‍රධාන ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු ද සමඟිනුයි.

එක්දින පිටියේ 5 වතාවක්ම ලෝක ශූරයින් බවට පත් වූ ඕස්ට්‍රේලියාවට තවමත් විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවයක් ලබා ගැනීමට නොහැකි වී ඇති අතර මෙවර තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ තමන්ට මේ දක්වා සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ජයග්‍රහණයක පහස ලබා ගැනීමේ අරමුණෙනි. විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව මේ දක්වා හිමිකරගෙන ඇති හොඳම තත්ත්වය වූයේ 2010 තරගාවලියේ ලබා ගත් අනුශූරතාවයයි.

කෙසේ නමුත් වර්තමානයේ දී යම් පසුබැසීමට ලක්ව ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මේ වන විට පසුවන්නේ 7 වැනි ස්ථානයේ යි.

නිමා වූ බංග්ලාදේශ හා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙකේ දී ම 4-1 බැගින් හිමිකරගත් අවමන්සහගත තරගාවලි පරාජය ද ඇතුළුව මෑතකාලීනව ඔවුන් දිගින් දිගටම පරාජයන් රැල්ලකට මුහුණ දීම මෙම පසුබැසීමට මූලිකවම බලපෑ කරුණු කාරණා ය.

කෙසේ වෙතත් එම තරගාවලි දෙක සඳහාම ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයින් වන David Warner, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Pat Cummins වැන්නන් සහභාගී නොවීම නිසා දෙවන පෙළ කණ්ඩායමක් ක්‍රීඩා කරවීම එම පරාජයන් වලට බලපෑ ප්‍රධාන හේතුසාධක ලෙස සඳහන් කළ හැක.

නමුත් මෙම විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයට එම ප්‍රබල ක්‍රීඩකයන් සියලු දෙනාගේම නම් ඇතුළත් වීම නිසා මෙවර සංචිතය ඉතාමත් ශක්තිමත් එකතුවක් ලෙස බැලූ බැල්මටම පෙනී යනු ඇත.

සුපුරුදු පරිදී කණ්ඩායමේ නායකත්වය Aaron Finch හට හිමිව ඇති අතර උප නායකත්වය හිමිව තිබෙන්නේ Pat Cumminsට ය.

වත්මන් විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුලතම ආරම්භක පිතිකරුවන් වන David Warner සහ Aaron Finch දෙදෙනා සතු වන්නේ ඕස්ට්‍රේලියාවටයි. එදාමෙදාතුර වැඩිම T20I ලකුණු ලාභීන් අතර පිළිවෙළින් ලකුණු 2429ක් හා 2265ක් ලබා එම ලැයිස්තුවේ සිව්වැනි හා 8 වැනි ස්ථාන පසුවන Finch හා Warner ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ දරුණුතම හිසරදයකි.

මේ අතරින් නායක Finch වත්මන් ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයේ ද පසුවෙයි.

අංක 3 ස්ථානය හිමිව තිබෙන්නේ සුපිරි පිතිකරු Steve Smithටයි. අත්දැකීම් බහුලතම පිතිකරුවෙකු වන Smith බොහෝ විට ඕස්ට්‍රේලියානු පිතිකරණයේ නැංගුරම බවට පත්වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින මන්දගාමී තණතිලි තත්ත්වයන් හීදී ඔහු වැනි ඉනිමක් ගොඩනැගිය හැකි ස්ථාවර පිතිකරුවකුගේ සේවය ඕස්ට්‍රේලියාවට බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.

අංක 4 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන Glenn Maxwell ය. වත්මන් ක්‍රිකට් පිටියේ අතිශයින්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි Maxwell රඳවා ගෙන තිබෙන ප්‍රහාරාත්මක වේගය 158.92ක් වන අතර ඔහු තරගයක් සම්පූර්ණයෙන්ම කණපිට ගැසිය හැකි ක්‍රීඩකයෙකි. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන Maxwell දකුණත් පිට දඟපන්දු යවන්නෙකු වශයෙන් ද කටයුතු කරනු ලබයි.

ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුවේ පළමු පිතිකරණ ස්ථාන 4 Finch, Warner, Smith හා Maxwell සිව් දෙනා අතර මෙලෙස බෙදී ගිය ද, අංක 5 ස්ථානය සඳහා මේ වන විට දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී ඇත. ඒ Mitchell Marsh හා Marcus Stoinis දෙදෙනා අතරයි.

පිතිකරණය මූලික කර ගත් මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනාම මේ වන විට දස්කම් අතින් හොඳම රිද්මයක පසුවන අතර නිමා වූ BBL තරගාවලියේ දී ද ඔවුන් හොඳින්ම ලකුණු අතරට පිවිසියා. පිතිකරණයට අමතරව කණ්ඩායමේ 6 වැනි පන්දු යවන්නා වශයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ භූමිකාවට අයත් තවත් කාර්‍යභාරයකි.

මෙම සංයුතියේ නිත්‍ය කඩුලු රකින්නා වන්නේ තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Mathew Wade ය. ප්‍රවේගකාරී පිතිකරුවෙකු ද වන ඔහු බොහෝ දුරට අංක 6 ස්ථානයේ පිතිකරණයේ නිරත වේ.

ඔහුට අමතරව මෙම සංචිතයේ සිටින අනෙකුත් අතිරේක කඩුලු රකින්නා වන්නේ Josh Inglisය. නවක ක්‍රීඩකයෙකු වන Inglisට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලද පළමු කැඳවීම මෙය වන අතර ඔහු මේ දින වල පැවැත්වෙන The Hundred Men’s Competitionහී ද ආරම්භක පිතිකරුවෙකු ලෙස දස්කම් අතර සිටින අයෙකි.

අංක 7 ස්ථානය හිමිව ඇත්තේ Ashton Agarටයි. වමත් පා දඟපන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Agar කලක පටන් ම ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.

ඔහුත් සමඟ කණ්ඩායමේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ Adam Zampaයි. දකුණත් දඟපන්දු යවන්නෙකු වන Zampa වත්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නා වශයෙන් හැඳින්විය හැකි.

වත්මන් ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මුල් 10 දෙනා අතර සිටින එකම ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා වන්නේ ද මෙම දඟපන්දු යුගලයයි. Agar හා Zampa දෙදෙනා එම ලැයිස්තුවේ පිළිවෙළින් 7 හා 8 ස්ථානවල පසු වේ.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ Mitchell Swapson ය. ඔහු දකුණත් පා දඟපන්දු යවන්නෙකි.

වේගපන්දු බලඇණියේ මූලිකත්වය සුපුරුදු පරිදී හිමිව ඇත්තේ Mitchell Starcටයි. වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Starc නව පන්දුවෙන් මෙන්ම ඉනිමේ අග භාගයේ පන්දු යැවීමෙන් ද (death bowling) සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ලබයි.

කෙසේ නමුත් ඔහුගේ සහයක ආරම්භක වේග පන්දු යවන්නා වීම සඳහා Josh Hazlewood හා Kane Richardson දෙදෙනා අතර තරගයක් නිර්මාණය වී ඇත. ඔවුන් දෙදෙනාම වර්තමානයේ දී තම හොඳම දස්කම් අතර සිටින වේගපන්දු යවන්නන් දෙදෙනෙකි.

වේගපන්දු බලඇණියේ තෙවැනි වේගපන්දු යවන්නාගේ ස්ථානය (first-change bowler) නිත්‍ය වශයෙන්ම උපනායක Pat Cumminsට හිමිව ඇත. වර්තමානයේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Cummins අමතර වේගයක් සහිත අධිවේගී පන්දු යවන්නෙකි. ඊට අමතරව අවශ්‍ය විටෙක පිතිකරණ අංශයෙන් ද ඔහු කණ්ඩායම තම සේවය ලබා දෙයි. ඒ අංක 8 පිතිකරුවා වශයෙනි.

මෙම සංචිතයේ සිටින මූලික ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු ද නම් කර ඇත. ඒ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Daniel Christian, Daniel Sams හා තවත් වේගපන්දු යවන්නෙකු වන Nathan Ellis ය.

මෙම තරග රටාවේ දී මෑතකාලීනව ඔවුන් තම උපරිම ශක්තීන් යොදා නොගැනීම නිසා ඇතැම් පරාජයන් අත්වූවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සංචිතයට ඇතුළත්ව සිටින මෙම අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩක සමූහය ප්‍රතිවාදී කණ්ඩායම්වලට නියත වශයෙන්ම අභියෝගයක් වනු ඇත.

අනෙක් අතට තමන්ට හුරුපුරුදු වේග තණතිලිවල ක්‍රීඩා තණතිලි තත්ත්වයින්හීදී මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇති විශාලතම අභියෝගයයි. ඒ අනුව වාසි හා අවාසි දෙකම සමඟින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියානුවන් යන ගමන කෙසේ වේවි දැයි අප දෙස විමසිල්ලෙන් බලා සිටිමු.

ඕස්ට්‍රේලියානු සංචිතය: Aaron Finch (C), Ashton Agar, Pat Cummins (VC), Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner, Adam Zampa. Traveling reserves: Dan Christian, Nathan Ellis, Daniel Sams

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<