දසුන්ගේ IPL සිහිනයත්, ගුජරාට් Play-offs සිහිනයත් එකම තරගයේ දී සැබෑ වෙයි!

3989

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම බවටත් පත්වුනා.

ඊයේ දිනයේ ඉන්දීය ක්‍රීඩක Vijay Shankarට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය නිසා තරග 12ක් පුරාවට බංකුවට වී ඉවසීමෙන් බලා සිටි දසුන් ශානකට පිටිය මැදට පිවිසීමට වාසනාව හිමි වුනා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sunrisers කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ යම්හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන පීඩනයත් සිතේ දරාගෙනයි.

Gujarat වෙනුවෙන් ඉනිම ඇරඹූ Wriddhiman Saha ඊයේ ලකුණු නොලබාම පිටිය හැර ගියේ Bhuvneshwar Kumar යැවූ පළමු පන්දුවාරයේ දීමයි. නමුත් දෙවැනි කඩුල්ලට ලකුණු 147ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට Sai Sudharsan සහ Shubman Gill සමත් වීම නිසා ගුජරාටය නැවතත් තරගයේ පාලනය සියතට ගත්තා. Sunrisers දියාරු පන්දු රැකීම හමුවේ දෙවරක් වාසනාවන්ත වූ Sudharsan ඊයේ ලකුණු 47ක් රැස් කළා.

එහි දී ලකුණු 37 දී Marco Jansenගේ පන්දුවකට ඔහු ලබා දුන් පහසු උඩපන්දුව Bhuvneshwar Kumar බිම අත හරිද්දී, නැවතත් ලකුණු 43 දී ඔහු ලබා දුන් අවස්ථාව පන්දු යැවූ Natarajan විසින්ම පැහැර හැරියා. ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් Sudharsan හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් සාර්ථක ඉනිමක් ගොඩ නැගුවා. මේ වන විට ලකුණු මවන යන්ත්‍රයක් බවට පත්ව සිටින Shubman Gill ඊයේ තම මංගල IPL ශතකය වාර්තා කර ගත්තා.

පන්දු 58කට මුහුණ දුන් ඔහු එහි දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 101ක්. Sunrisers පන්දු රකින්නන් අතරින් විශිෂ්ට ලෙස පන්දුව යොමුකළ Gill ඒ අතරේ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා. තරගයේ මුල් පන්දුවාර 14 තුල දී එක් කඩුල්ලකට ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වූ Gujarat කණ්ඩායම පහසුවෙන් ලකුණු 200 පසුකර යනු ඇතැයි බලාපොරොත්තු වුනත් මැදපෙළ පිතිකරුවන් එම රාජකාරිය පැහැර හැරියා.

ඒ ලකුණු 40ක් තුල දී කඩුලු 8ක් ප්‍රතිවාදීන්ට පූජා කරමින්. වැඩි ලකුණු ගණනක් ඉක්මනින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් Hardik Pandya, David Miller වැනි ප්‍රහාරක පිතිකරුවන් පිටියට එවූව ද, ඔවුන් ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී ගියේ තම රාජකාරිය පැහැර හරිමිනුයි. පන්දු කිහිපයකින් වැඩි ලකුණු ගණනක් ලබාගෙන තරග අවසන් කිරීමට නම් දරා ඇති Tewatia ඊයේ දසුන් ශානකට ඉහළින් පිටියට එවීම Gujarat කණ්ඩායම ගත් දුර්වල තීරණයක්.

අවසානයේ අවස්ථාවට අනුගත වීමට නොහැකි වූ Tewatiaත් ලකුණු 3කට දැවී ගියා. එක් අන්තයකින් Gujarat පිතිකරුවන් පෙරහැර යද්දී, අනෙක් අන්තය ආරක්ෂා කරගෙන සිටි දසුන් ශානක පන්දු 7ක දී නොදැවී ලකුණු 9ක් රැස් කළා. ඒ එක් හතරේ පහරක් ද සමඟයි. කෙසේ වෙතත් මැදපෙළ ගරා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ගුජරාටයට කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 188ක් පමණයි. සුපිරි පන්දු යැවීමක යෙදුණු Bhuvneshwar Kumar ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත්තා.

තරගාවලියේ තවදුරටත් සජීවීව රැඳී සිටීමට නම් ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට සිදු වූ Sunrisers කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුනේ නැහැ. ඉතාමත් හොඳින් පන්දුවේ පතිතය සහ දෝලනය මගින් Sunrisers පිතිකරුවන් දමනය කිරීමට Mohommed Shami ඇතුළු Gujarat වේගපන්දු යවන්නන් මූලිකත්වය ගත්තා. එහි දී Anmolpreet Singh සහ Abhishek Sharma යන පිතිකරුවන් දෙදෙනාම දැවී ගියේ ලකුණු 10ටත් අඩුවෙනුයි.

නායක Aiden Markramගේ ඉනිම Mohommed Shamiගේ පන්දුවක් හමුවේ ලකුණු 10කට නිමා වුනා. ඒ දසුන් ශානක රැකගත් උඩපන්දුවක් හමුවේයි. Sunrisers Hyderabad පිතිකරුවන් අන්ත අසරණ වෙද්දී එක් අන්තයකට වී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ Heinrich Klaasen ලකුණු 64ක් රැස් කළා. සමස්ත ඉනිම පුරාවටම දැකිය හැකි වූ එකම සාර්ථක ඉනිම එයයි. පන්දු 44කට මුහුණ දුන් Klaasen එහි දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුනා.

Sunrisers ඉනිමේ මුල් කඩුලු 7ම දැවී ගියේ ලකුණු 59ක් තුලයි. ඉන් අනතුරුව Heinrich Klaasen සහ Bhuvneshwar Kumar අතරේ ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගුණා. තුන් ඉරියව් දක්ෂතා ප්‍රකට කළ Bhuvneshwar Kumar පසුපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු 27ක් නොදැවී ලබා ගැනීම නිසා Sunrisers කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 154ක් ලබා ගැනීමට අවස්ථාව හිමි වුනා.

කෙසේ නමුත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනේ තරග 12ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවත් ලබා ගැනීමට හැකිව තිබුණේ ජයග්‍රහණ 4ක් පමණක් වූ නිසයි. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shubman Gillට හිමිවුනා.

පන්දු යැවීමේ දී Mohit Sharmaත් කඩුලු 4කට හිමිකම් කියූ අතර වේගපන්දු යවන්නන් මෙම තරගයේ සමස්ත කඩුලු 17ක් බිඳ හෙලීම IPL ඉතිහාසයේ නව වාර්තාවක් ද වනවා.

Gujarat Titans – කඩුලු 9ක් දැවී ලකුණු 188 (පන්දුවාර 20): Shubman Gill 101, Sai Sudharsan 47, දසුන් ශානක 9*, Hardik Pandya 8, Bhuvneshwar Kumar 5/30, Fazalhaq Farooqi 1/31, T Natarajan 1/34.

Sunrisers Hyderabad – කඩුලු 9ක් දැවී ලකුණු 154 (පන්දුවාර 20): Heinrich Klaasen 64, Bhuvneshwar Kumar 27, Mayank Markande 18*, Aiden Markram 10, Mohommed Shami 4/20, Mohit Sharma 4/28.

Indian Premiere League තරගාවලියේ අද (16) ක්‍රියාත්මක වන්නේ Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගයයි. ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය දෙපිළටම අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ ඔවුන් මේ වන විට පිළිවෙළින් ලකුණු 14 සහ 13 බැගින් ලබාගෙන ලකුණු සටහනේ තුන්වැනි සහ හතරවැනි ස්ථානවල සිටින නිසයි.

මෙම තරගය මෙන්ම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති මෙවර IPL තරගාවලියේ ඉදිරි තරගත් ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<