ඉතිහාසයේ හොඳම මීටර් 400 තරගයක් නිමා වූ රැයක්

Paris Olympics 2024

107

2024 පැරිස් ඔලිම්පික් 12 වැනි දිනය නිමා වන විටත් ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටනේ පෙරමුණ රැක ගැනීමට සමත් වී සිටියා. 

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට රන් පදක්කම් 27ක් සමඟින් සමස්ත පදක්කම් 94ක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටින අතර, චීනය රන් පදක්කම් 25ක් සමඟ සමස්ත පදක්කම් 65ක් ලබා ගනිමින් සුපුරුදු පරිදි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

උළෙලේ 12 වැනි දිනය වූ ඊයේ (07) දිනයේ දී ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව වූ නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීම මූලික වටයේ ඉසව්වකට සහභාගී වූ නමුත් එහි දී ඇයට තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් ඊයේ දිනය ද ඉතා විශිෂ්ට තරග ඉසව් රැසක නිමාව සටහන් කරමින් තරගකාරී ලෙස ගෙවී ගියා 

මේ ඒ පිළිබඳ සාරාංශයක්; 

චීනයට රිද්මයානුකූල පිහිනුම් රන් පදක්කමක්  

ඊයේ පැවැත්වුණු රිද්මයානුකූල Acrobatic Routine කණ්ඩායම් තරග ඉසව්වේ රන් පදක්කම චීනය විසින් ජයග්‍රහණය කළේ, ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයට ඇද දමමිනුයි. 

කාන්තා පැසිපන්දු අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තහවුරුයි 

ඊයේ දිනයේ දී කාන්තා පැසිපන්දු අර්ධ අවසන් පූර්ව වටයේ තරග ක්‍රියාත්මක වූ අතර, එහි දී සර්බියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤයට එරෙහිව බෙල්ජියම, ජර්මනියට එරෙහිව ප්‍රංශය සහ නයිජීරියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ජයග්‍රහණ ලබා ගනිමින් මෙවර ඔලිම්පික් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

මෙම තරග සියල්ලම පාහේ තියුණු මුහුණුවරක් ගැනීමත් විශේෂත්වයක්. 

කාන්තා හොකී අවසන් තරගයට චීනය සහ නෙදර්ලන්තය  

ඊයේ නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර පැවැත්වුණු කාන්තා හොකී අවසන් පූර්ව තරගයෙන් ගෝල 3-0ක ජයක් ලැබීමට නෙදර්ලන්තය සමත් වුනා. 

මේ අතර බෙල්ජියම සහ චීනය අතර පැවැත්වුණු අනෙක් අවසන් පූර්ව තරගයේ දී දඬුවම් පහර 3-2ක් ලෙස ඉසව්ව ජයග්‍රහණය කිරීමට චීනය සමත් වුනේ නෙදර්ලන්තය සමඟ අවසන් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබමිනුයි. 

පිරිමි වොලිබෝල් අවසන් තරගයට පෝලන්තය සහ ප්‍රංශය 

පෝලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වුණු අවසන් පූර්ව තරගයෙන් තරග වට 3-2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට පෝලන්තය විසින් සමත් වුනා.  

මේ අතරම ඉතාලිය සහ ප්‍රංශය අතර පැවැත්වුණු අනෙක් අවසන් පූර්ව තරගයෙන් තරග වට 3-0ක පහසු ජයක් ලබා ගනිමින් ප්‍රංශය පෝලන්තය සමඟ ඉසව්වේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තා. 

මිශ්‍ර සහය ඇවිදීමේ ඉසව්ව 

මෙම ඉසව්වේ ජයග්‍රහණය ලබා ගැනීමට ස්පාඤ්ඤය විසින් සමත් වූ අතර, රිදී පදක්කම ඉක්වදෝරයටත්, ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවටත් හිමි වුනා. 

රන් සගයෝ සටනට පිවිසෙයි 

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී පිරිමි උස පැනීම ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම් බෙදා ගත් කටාර් දේශයේ Mutaz Essa Barshim සහ ඉතාලියේ Gianmarco Tamberi ඊයේ දිනයේ පැවැත්වුණු උස පැනීමේ මූලික වටයේ ඉසව්වෙන් පහසුවෙන් ම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා. ඒ අනුව නැවතත් වරක් මෙම යුගලය අතරේ නිර්මාණය වන දැවැන්ත සටනක් ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට හැකි වෙතැයි අනුමාන කළ හැකි. 

බෙදා ගත් රන් පදක්කම දෙකඩ වෙයි 

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම බෙදා ගැනීමට තීරණය කළ ඕස්ට්‍රේලියාවේ Nina Kennedy සහ ඇමරිකා එක්සත් ජනපදයේ Katie Moon මෙවර එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් පිළිවලින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා ම ඊයේ දිනයේ දී මෙවර තරගවාරයේ තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට පිවිසීමට සමත් වීමත් විශේෂත්වයක්. 

අවසන් පූර්ව තරග කිහිපයක් ම ක්‍රියාත්මක වෙයි 

පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකාවේ Grant Holloway සහ ජැමෙයිකාවේ Hansle Parchment ට හැකියාව ලැබුණා. 

පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉසව්වේ වත්මන් ලෝක සහ ඔලිම්පික් වාර්තාවලට හිමිකම් කියන නෝර්වේ දේශයේ Karsten Warholm මෙන්ම, බ්‍රසීලයේ Alison Dos Santosට ද හැකියාව ලැබුණා. 

මේ අතර පිරිමි මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට බොස්ට්වානා හි Letsile Tebogo සමත් වූ අතර, ඇමරිකාවේ Kenneth Bednarek, Noah Lyles දෙදෙනා ද Tebogoට පසුපසින් හිඳිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්ව ද ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති. 

කාන්තා මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඩොමිනිකා දේශයේ Paulino Marileidy මෙන්ම බාර්බඩෝස් හි Sada Williamsට ද හැකියාව ලැබුණා. 

El Bakkali ගෞරවය රැක ගනී

පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම නැවතත් වරක් මොරොක්කෝවට රැගෙන යාමට ඉසව්වේ වත්මන් ලෝක ශූරයා ද වන Soufiane El Bakkali හට පහසුවෙන් ම හැකියාව ලැබුණා.  

පියාගේ වාර්තාව ඩැහැ ගත් සැනින් අතුරුදහන් වෙයි 

මීට මාස කිහිපයකට පෙර පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ වසර 34ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වූ ලිතුවේනියාවේ Mykolas Alekna ඊයේ දිනයේ දී ඔහුගේ පියා (Virgilijus Alekna) විසින් එම ඉසව්ව වෙනුවෙන් 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පිහිටූ ඔලිම්පික් වාර්තාව අලුත් කිරීමට සමත් වුනා. 

ඒ වෙනුවෙන් ඔහු මීටර් 69.77ක් දුර කවපෙත්ත විසිකිරීමට සමත් වූ නමුත් මෙම ඔලිම්පික් වාර්තාව මිනිත්තු කිහිපයක් තුළ Mykolasගෙන් උදුරා ගැනීමට ජැමෙයිකාවේ Roje Stona සමත් වුනේ මීටර් 70.00ක් දුරට කවපෙත්ත විසි කරමිනුයි. ඒ අනුව ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාවට හිමි වුනා. 

ඉතිහාසයේ හොඳම මීටර් 400 තරගයක්? 

මේ අතර ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 43.40ක කාලයකින් නිමා කළ ඇමරිකාවේ Quincy Hall රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙම තරග නිමි කාලය මෙතෙක් ඉතිහාසයේ මෙම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ සිව්වැනි හොඳම කාලය වූ අතර, ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළ මහා බ්‍රිතාන්‍යයේ Matthew Hudson Smith තත්පර 43.44ක කාලයක් වාර්තා කළ අතර, එය මෙතෙක් ඉතිහාසයේ පස් වැනි හොඳම තරග නිමි කාලය ලෙස සටහන් වුනා. එමෙන්ම ඉසව්වේ අවසන් මීටර කිහිපය තෙක් ම ජයග්‍රහණය Smith නමින් ලියැවී තිබුනත්, Hall අවසන් මොහොතේ එය ඩැහැ ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සැම්බියාවේ Muzala Samukonga විසින් දිනා ගත් අතර, ඔහුට ඒ සඳහා නව ජාතික වාර්තාවක් ද පිහිටුවීමට සිදු වුනා. ඉසව්වේ ප්‍රවීණයකු වූ ග්‍රැනේඩාවේ Kirani James හට පස් වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

ඊයේ දිනයට අදාළ ඔලිම්පික් තරග ඉසව් එසේ නිමාවට පත් වූ අතර අද දිනයේ ද විශේෂ අවධානයක් යොමු වන අවසන් තරග කිහිපයක් ම ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මේ අතරට කාන්තා දුර පැනීම, පිරිමි හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 200, කාන්තා මීටර් 400 සහ පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම යන ඉසව් ද ඇතුළත්. 

එම තරග සියල්ලේ ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>