2020 IPL එකේ හොඳම වැඩ්ඩෝ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

975
IPL 2020: List of Top Individual Performance

විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලි අතර ඉදිරියෙන්ම තියෙන, ලෝකේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් තරගාවලියක් තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය කියලා කියන්නේ.

මේ අවුරුද්දේ 13 වැනි වරට පැවැත්වුන 2020 IPL තරගාවලිය IPL ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය බවට පත්ව අවසන්. ඒ, මූලික වටයේ අවසන් තරගය නිමාවෙනතුරුම play off වටය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 4න් 3ක් පමණක් තහවුරු වී තිබීම නිසයි. ඒ වගේම පස්වැනි සහ හයවැනි ස්ථාන දිනා ගත්ත කණ්ඩායම් වුනත් පෙර තරගාවලිවල එම ස්ථානවල සිටි කණ්ඩායම්වලට සාපේක්ෂව වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබුණා.

අවසානයේ දී දිල්ලි කැපිටල්ස් අනුශූරයින් බවට පත් කරමින් මුම්බායි ඉන්දියන්ස් පස්වැනි වරටත් IPL ශූරයින් බවට පත්වුනා. ඉතිං, 2020 IPL තරගාවලිය අවසානයේ හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 10 දෙනෙක් ගැන ThePapare.com අවධානය යොමු කළා.

හොඳම පිතිකරුවන් 5
  1. KL Rahul – කිංග්ස් ඉලෙවන් පංජාබ්

ආරම්භයේ දී කණ්ඩායමක් විදිහට අසාර්ථක වුනත් පසුව ඉතාමත් හොඳින් තරගාවලියට අවතීර්ණ වීමට කිංග්ස් ඉලෙවන් පංජාබ් සමත් වුනා. ඒ වුනත් අවාසනාවන්ත විදිහට අවසන් වටය දක්වා පැමිණීමට හැකියාව ලැබුණේ නැතත්, කණ්ඩායම් නායකයා වුනු KL Rahul තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

ඔහු තරග 14ක ඉනිම් 14කට ක්‍රීඩා කරමින් 55.83ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 129.34ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ලකුණු 670ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ සඳහා එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක් ඇතුළත් වෙනවා. Rahul 4 පහර 58ක් සහ 6 පහර 23ක් මෙවර තරගාවලිය තුල එල්ල කළා. 

ඒ වගේම කඩුලු රැකීම සහ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීම ලෙහෙසි පහසු වුනේ නැතත් Rahul මෙවර ඉතාමත් හොඳින් ඒ අභියෝගය ජය ගත්තා. ඒ වගේම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙනුවෙන් ලබා දෙන Orange Cap එක මෙවර තරග වාරය තුල වැඩිම කාලයක් තිස්සේ පැලඳ සිටියේ Rahul වීම ද විශේෂත්වයක්.

  1. Shikhar Dhawan – දිල්ලි කැපිටල්ස්

දිල්ලි කැපිටල්ස් අවසන් මහා තරගය දක්වා රැගෙන ඒම සඳහා විශාල සවියක් වුන ක්‍රීඩකයෙක් ලෙස Shikhar Dhawan හඳුන්වා දෙන්න පුළුවන්. වමතින් පිතිකරණයේ නිරත වන Dhawan පළමු තරග කිහිපය තුල එතරම් සාර්ථක වුනේ නැහැ, ඒත් ඔවුන් පසුව ක්‍රමයෙන් ලකුණු අතරට පැමිණියා.

ඒවගේම මෙවර තරගාවලියේ දී IPL ඉතිහාසය තුල ලකුණු 5,000 සීමාව පසු කළ Dhawan පිට පිට තරග දෙකක දී (චෙන්නායි සහ සන්රයිසස්) ශතක දෙකක් ලබා ගනිමින් දස්කම් පෙන්නුවේ IPL තරගාවලියක එවැනි දස්කමක් කළ පළමු ක්‍රීඩකයා වෙමින්. 

ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය 106*ක් ලෙස සටහන් කර ගත් ඔහු ඉනිම් 17ක දී ලකුණු 618ක් වාර්තා කළේ ශතක දෙකක් සහ අර්ධ ශතක 4ක් ලබාගෙනයි.

  1. David Warner – සන්රයිසස් හයිද්‍රාබාද්

David Warner ඇතුළු සන්රයිසස් හයිද්‍රාබාද් මෙවර IPL තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් කියන්න පුළුවන්. නමුත් තරගාවලිය අතරතුර ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්වුනත් David Warner ඇතුළු සන්රයිසස් play off වටය දක්වා පැමිණීම ඉතාමත් සතුටට කරුණක්.

සන්රයිසස් ආරම්භක පිතිකරුවා වුනු Warner තරග 16ක ඉනිම් 16කට ක්‍රීඩා කරමින් නොදැවුණු ඉනිම් දෙකක් සමඟ ලකුණු 548ක් ලබා ගත්තේ අර්ධ ශතක 4ක් වාර්තා කරගෙනයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 85* Warner මෙවර තරගාවලිය තුල ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වෙනවා.

  1. Shreyas Iyer – දිල්ලි කැපිටල්ස්

2020 IPL තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් පස්දෙනා අතර සිටින තුන්වැනි නායකයා වන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Shreyas Iyer. ඔහු දිල්ලි කණ්ඩායම IPL තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයක් දක්වා රැගෙන ආ පළමු නායකයා බවට පත් වුනත් අවාසනාවට ඔවුන්ට ශූරතාව දිනා ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ.

මෙහි පළමු ස්ථාන තුනේම ඉන්නේ ආරම්භක පිතිකරුවන් වන අතර මැදපෙළ පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ Shreyas Iyer. ඔහු ඉනිම් 17ක දී නොදැවුණු ඉනිම් දෙකක් සමඟ ලකුණු 519ක් ලබා ගත්තේ 4 පහර 40ක් සහ 6 පහර 16ක් එල්ල කරමින්. එයට අර්ධ ශතක තුනක් ඇතුළත් වෙනවා.

ඒ වගේම ඕනෑම අවස්ථාවක තරගයක් කණපිට ගැසීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක් වන ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 123.37ක් වැනි හොඳ මට්ටමක තිබෙනවා.

  1. Ishan Kishan – මුම්බායි ඉන්දියන්ස්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශූරතාව දිනා දීම වෙනුවෙන් වැඩි වගකීමක් ඉටු කළ ක්‍රීඩකයෙක් ලෙස Ishan Kishan හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ලකුණු ලබා ගැනීම සඳහා 4 පහර 30ක් සහ 6 පහර 36ක් එල්ල කර තිබෙන අතර ඔහු තරගාවලිය අවසානයේ දී තරග 14ක ඉනිම් 13කට ක්‍රීඩා කරමින් ලකුණු 516ක් ලබා ගත්තා. 

Rohit Sharma හට ඇතිවුණු ආබාධයක් නිසා තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වුනත් එම අඩුව මකා දැමීමට Kishanගේ පිතිකරණය සමත් වුනේ ඔහු ආරම්භක පිතිකරුවා ලෙස ද සාර්ථක වුන නිසයි. ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම් අතර RCB කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 99 කැපී පෙනුණා.

තවත් විශේෂාංග ලිපි

හොඳම පන්දු යවන්නන් 5
  1. Kagiso Rabada – දිල්ලි කැපිටල්ස්

දකුණතින් වේගපන්දු යවන දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rabada දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් තරගාවලිය පුරාවට ඉතාමත් දක්ෂ පන්දුකරණයක නිරත වුනා. ඔහු තරගාවලියේ ආරම්භක තරග බොහෝ ප්‍රමාණයක එක් කඩුල්ලක් හෝ දවාගෙන දස්කම් අතරට පැමිණි අතර ඔහු තරග 17ක දී කඩුලු 30ක් දවා ගත්තේ තරගාවලියේ සෑම තරගයක්ම සඳහා සහභාගී වෙමින්.

එහි දී පන්දුවාර 65කුත් පන්දු 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 548ක් ලබා දෙමින් ඔහු එම කඩුලු 30 දවාගෙන තිබෙනවා.

Rabadaගේ හොඳම පන්දු යැවීම ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 4ක් දවා ගැනීම සටහන් වුනා. 

අවසන් තරග වටයට ඒමට පෙර තිබ්බ මූලික වටයේ අවසන් තරගවල දී Rabada හට වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට නොහැකි වුන නිසා වැඩිම කඩුලු ලාභියා වෙනුවෙන් ලබා දෙන Purple Cap එක ඔහුගෙන් ගිලිහී ගියත්, අවසානයේ නැවතත් එම හිස්වැසුම තමන් සතු කරගත්තේ 2020 IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

  1. Jasprit Bumrah – මුම්බායි ඉන්දියන්ස්

තරග 15කට ක්‍රීඩා කරමින් අඩු තරග ප්‍රමාණයක් තුල කඩුලු 27ක ප්‍රමාණය දවා ගත් Bumrahගේ කඩුලු දවා ගැනීමට අමතරව අනෙක් පන්දු යවන්නට සාපේක්ෂව ඔහු පිතිකරුවන්ට ලබා දී තිබෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක තිබෙනවා. 

Bumrah ක්‍රීඩා කළ තරග 15 දී මුළු පන්දුවාර 60ක් ක්‍රියාත්මක කරමින් 14.96ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ මෙවර තරගාවලියේ හොඳම කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය හිමි පන්දු යවන්නා බවට පත්වෙමින්. එය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ශූරතා ගමනට ලොකු සවියක් වුනා.

  1. Trent Boult – මුම්බායි ඉන්දියන්ස්

තරගාවලිය ආරම්භයේ සිටම දක්ෂ ලෙස පන්දු යැවූ Boult පිතිකරුවන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන powerplay අවස්ථාවල (පළමු පන්දුවාර 6) දී වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුණේ තරග 15ක දී කඩුලු 25ක් දවාගෙනයි. 

ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීම මෙවර IPL තරගාවලියේ සිය හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ගත් Boultගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 18.28ක් වැනි හොඳ මට්ටමක පැවතුණා.

  1. Anrich Nortje – දිල්ලි කැපිටල්ස්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Anrich Nortje මේ තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගන්නේ රාජස්ථාන් රෝයල්ස් සමඟ තිබ්බ තරගයේ දී Jos Buttlerගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි. ඔහු එම පන්දුවාරය පුරාවට පැයට කිලෝමීටර 146ක වේගය ඉක්මවාලමින් පන්දු ක්‍රියාත්මක කළා. එහි දී පැයට කිලෝමීටර 155.21ක වේගයකින් පැමිණි Nortjeගේ පන්දුවක් හමුවේ ලකුණු අතරට පිවිසෙමින් සිටි Buttlerගේ කඩුල්ල දැවී ගියා.

Nortje තරගාවලියේ තරග 16කට ක්‍රීඩා කරමින් කඩුලු 22ක් දවා ගත්තේ එක් පන්දුවාරයකට දල වශයෙන් 8.39ක් වැනි ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින්.

  1. Yuzvendra Chahal – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

මෙවර මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින දඟපන්දු යවන්නා වන්නේ Yuzvendra Chahal ඔහු තරග 15ක දී පන්දුවාර 57කුත් එක් පන්දුවක් ක්‍රියාත්මක කරමින් කඩුලු 21ක් දවා ගත්තේ 16.33ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

2020 IPL තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් යොදා තිබුණත්, කොරෝනා වයිරසය සහ ඒ නිසා ඇති වුන බාධා නිසාවෙන් තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඉතාමත් උණුසුම් අයුරින් සාර්ථකව නිමාවට පත්වුණේ වෙනස්ම ආකාරයක අත්දැකීම් රැසක මතක ගොන්නක් ඉතිරි කරමින්.

මේ පාර IPL තරගාවලියේ ඔයාට තෝරන හොඳම කණ්ඩායම මොකක්ද කියලා පහළින් comment කරන්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<