අඟ-හිඟකම් මට්ටු කර ක්‍රිකට් ලොවේ පෙළහර පාන “නිපුන් රන්සික”

1501

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි පෙළ පාසල් කණ්ඩායමක් නියෝජනය කළ පළමුවැනියා වන්නේ නිපුන් රන්සික ය. දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙස ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නිපුන් ගැන ThePapare.com තබන සටහනකි මේ. 

2017 වසරේ දී ඩයලොග් – The Sunday Times පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ දී මේ ප්‍රධාන සම්මානය දිනා ගන්නා නිපුන් එම වසරේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මාන දිනා ගත්තා. තුන් ඉරියව් ක්‍රීඩකයන් එසේත් නොමැති නම් පිතිකරුවන් බහුතරයක් විසින් හිමිකර ගත් මේ සම්මානය දිනා ගත් අතලොස්සක් වූ පන්දු යවන්නන් අතරට නිපුන් එක් වීම ද විශේෂත්වයකි.

“ඇත්තටම පිට පළාත් ක්‍රීඩකයෙක් ලෙසත් සහ වේගපන්දු යවන්නෙක් ලෙසත් ලැබූ මේ සම්මානය මට විශාල ආඩම්බරයක්, ආභරණයක්. මේ සම්මාන දිනා ගැනීම පිටු පස්සේ විශාල පිරිසක් සිටිනවා. ඒ වෙනුවෙන් දායකත්වය දැක්වූ සෑම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා” නිපුන් ThePapare.com සමඟ කතාවට එක්වෙමින් පැවසුවා. 

දුප්පත්කම මට්ටු කරමින් ක්‍රිකට් ලොව ජය ගත් නිපුන්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වෙන්නේ බොහෝ දුක් කම්කටොළු, අඩු-පාඩු ගොඩක් මැද. ඔවුන් හිටියේ දුප්පත්කමේ පතුලේ. ජීවත් වුනේ ලෑලි ගහපු කුලී නිවසක. නිපුන් දන්න කියන කාලෙ වෙද්දී අම්මත් තාත්තත් විදෙස් ගත වෙනවා. ඒ තමන් සිටින තත්ත්වයෙන් ගොඩ  ඒමේ අධිෂ්ඨානයෙන්. මේ නිසා නිපුන්ටත්, නිපුන්ගේ අක්කටත් අම්ම වුනේ ඔවුන්ගේ නැන්දණිය. 

නිපුන්ගේ පියා ඩබ්ලිව්. ඒ. රත්නසිරි. ඔහු එකල විදෙස් ගතව සිටිය ද මේ වන විට මෙරට සංචාරක නිකේතනයක සේවය කරනවා. මව, එස්. එම්. ජයනා ද සිල්වා විදෙස් ගත ශ්‍රමිකයෙක්. අක්කා අසිතා රන්සිනි. පෙර පාසල් ගුරුවරියක් ලෙසින් සේවය කරනවා. නිපුන්ලා පුංචි දවස්වල සිට හදා වඩා ගත් නැන්දා ඩබ්ලිව්. ඒ. ප්‍රේමවතී. “නැන්ද තමයි අපේ හැම දෙයක්ම හොයා බලමින් කළේ. අදටත් අම්මටත් වඩා අපිට සමිප නැන්දා” නිපුන් පැවසුවා.

නිපුන්, තම පවුලේ ආදරණීයයන් සමඟ

නිපුන් පාසල් ගියේ නිවසේ සිට පයින් යන දුරක පිහිටි අම්බලන්ගොඩ, පී. ද එස්. කුලරත්න විද්‍යාලයට. ළඟ පාතක නිසා නිපුන්ගේ කාලයෙන් වැඩි හරියක්ම ගත වුනේ පාසල් බිමේ ම තමයි. උදේට පාසල් යන නිපුන් හවසට සෙල්ලම් කරන්න යන්නෙත් පාසල් බිමටම තමයි. මෙහෙම යන එන අතර නිපුන්ගේ හිතත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇදී යනවා. 

නිපුන්ගේ මේ ක්‍රිකට් ගැහිල්ල කොතෙක් ද කියනවා නම්, සවස් කාලයේ ගමේ කොල්ලො කුරුට්ටොත් සමඟ හරි හරියට ක්‍රිකට් ගහන්න යන නිපුන් ගෙදර එන්නේ අඳුර වැටිල ගෙවල් පේන නොපෙනෙන කළුවරේ. මේ නිසා නැන්දගෙන් ගුටි කාපු වාරත් අපමණයි. ඒත් ඉතිං ඊට පහුවදාත් නිපුන්ගේ කාලසටහන සැකසෙන්නේ ඒ විදිහටම තමයි.

“මෙහෙම ඉන්දැද්දි දවසක් නැන්ද මාව පාසලේ ක්‍රිකට් පුහුණුවීම් කළ කුසුම් නන්දසිරි සර් ළඟට එක්ක යනවා. ඒ වෙද්දී මට අවුරුදු 10ක් විතර ඇති. මම කවදාවත් හිතුවෙ නැහැ නැන්දා මාව කුසුම් සර්ට බාර දෙයි කියලා. එහෙම දෙයක් ගැන ගෙදර දී කතා කරපු බවක්වත් මතක නැහැ. කොහොම හරි එතැනින් තමයි මගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වෙන්නේ.”

නැන්දණීය ගත් මේ තීරණය සම්බන්ධයෙන් නිපුන් අදටත් පුදුම වෙනවා. “මට එදා වගේම අදටත් හිතා ගන්න බැහැ. නැන්දා මේ ගැන කියන්නෙත් නැහැ. ඇහුවහම හිනා වෙලා ඕන වෙලා තිබුණෙ ඒක නේ කියල කියනව විතරයි” නිපුන් පවසනවා.

නිපුන්ගේ මේ ක්‍රිකට් ගැහිල්ල කුලරත්නයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ දක්වා පැවැත්වෙනවා. මේ අතර කාලයේ වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වෙනවා. එහි දී සහභාගී වූ පළමු තරගයේ දී ම කඩුලු 6ක් දවා ගනිමින් කාගේත් අවධානය දිනා ගැනීමට නිපුන් සමත් වෙනවා. 

15න් පහළ කඩඉම පසුවෙද්දී ම වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කිරීමට ද නිපුන් සමත් වෙනවා. මේ නිසාම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් කණ්ඩායමට ද සුදුසුකම් ලබා ගන්නවා. ඔය අතර කාලයේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයේ ද ක්‍රීඩකයෙක් වෙන නිපුන් එවකට පැවති එංගලන්ත සංචාරයේ අතිරේක ක්‍රීඩකයෙක් බවට ද පත් වෙනවා. 

“ඊට පස්සේ දිගින් දිගටම මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ ඉන්නවා. මුලින්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ආසියානු කුසලානය වෙනුවෙන් පැවති තරගාවලියේ දී. පළමු තරගය නේපාලය සමඟ. ඒ තරගයේ දී කඩුල්ලක් දවා ගන්නවා. ඊට පස්සේ පැවති මැලේසියාව සමඟ තරගයේ දී කඩුලු දෙකකුත් අවසාන මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 52කට කඩුලු 3කුත් දවා ගන්නවා.”

නිපුන්ගේ හොඳම තරග සංචාරය වෙන්නේ දකුණු අප්‍රිකාවේ දී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය. එම තරගාවලියේ දී කඩුලු 26ක් ලබා ගැනීමට නිපුන් සමත් වෙනවා. අවසන් තරගයේ වීරයා වගේම තරගාවලියේ වීරයා ද වෙන්නේ නිපුන්.

“ඒ තරගාවලිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. පුහුණුකරු ලෙසින් සිටි රෝයි ඩයස් සර් වගේම වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසින් සිටි චමින්ද වාස් සර් ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම චමින්ද වාස් සර් මා ගැන විශ්වාසය තබා ගනිමින් මගේ පන්දු යැවීමේ උපරිමය දැක්වීමට උපකාරි වුනා. අවසන් තරගයේ දී මම ලකුණු 19කට කඩුලු 5ක් දවා ගන්නවා.”

මේ තරගාවලියෙන් අනතුරුව නිපුන් රන්සිකගේ දක්ෂතා ගැන වඩාත් කතාබහට ලක් වෙනවා. ඊට තවත් හේතුවක් වන්නේ චමින්ද වාස් දී තිබූ සහතිකයයි. 

“නිපුන් නියම ආකාරයෙන් කළමනාකරණය කරගෙන පරිස්සමින් බලා ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගත වේගපන්දුවට විශාල ආයෝජනයක් වේවි. ඔහුට විශිෂ්ට ගමනක් යන්න පුළුවන්. නිපුන්ගේ පන්දු යැවීම වේගවත්. ඒ වගේම එම වේගපන්දුව දෙපැත්තටම දෝලනය කිරීමේ හැකියාවක් තියෙනවා . පන්දු යැවීමේ දී ස්ථාවර ඉරියව්වක් අනුගමනය කරනවා. නියමිත ස්ථානයේ පන්දුව පතිත කිරීමේ හැකියාවක් ද ඔහු සතුයි” එවකට 17 හැවිරිදි වියේ පසු වු නිපුන් ගැන චමින්ද වාස් පැවසුවේ එලෙසින්.

ඉන් අනතුරුව පැවති ඕස්ට්‍රේලියා සංචාරයේ දී නිපුන්, චමින්ද වාස් දුන් සහතිකය තවත් වර්ණවත් කරනවා. ඔහු එම තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 15ක් දවා ගන්නවා. මෙම තරගාවලියෙන් අනතුරුව වයස අවුරුදු  19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුණ කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් නිපුන්ට හිමි වෙන්නට තිබුණා, නමුත් දක්ෂතාව මදකට අවහිර කරමින් අවාසනාව ඔහු කරා එන්නේ ඒ අතර වාරයේ දී. 

“මම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් කරමින් සිටියේ. ඒත් හදිසියේම කකුලේ ආබාධයක් මතු වෙනවා. මේ නිසා මට මාස 8ක් විතර පුහුණුවීම්වලින් ඉවත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියත් අහිමි වෙනවා” නිපුන් පවසනවා. 

වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින්.

ජීවිතයේ බොහෝ අග-හිඟකම් මට්ටු කරමින් ක්‍රිකට් ලොව එපමණකින් හෝ ජය ගත් නිපුන්ට ඒ අහිමි වීම දරා ගන්න බැහැ. නමුත් කළ යුතු වෙනත් දෙයක් ද නැහැ. නිපුන් අනාගතයට මුහුණ දෙනවා. පාදයේ ආබාධය සුව වූ වහාම නිපුන් නැවත පන්දුව අතට ගන්නවා. මේ කාලයේ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ක්‍රිකට් නායකයා ද වන නිපුන්, පැවති ආබාධිත තත්ත්වය හේතුවෙන්ම පාසල් ක්‍රිකට් තරගාවලියේ ද සහභාගී වෙන්නේ තරග කිහිපයකට පමණයි. ඒ වෙද්දී ඔහු කඩුලු 26ක් ලබා සිටියා. 

“මම අදටත් ක්‍රිකට් ගහන්නේ පාසල නිසා. මගේ මුල්ම පුහුණුකරු වුනේ කුසුම් නන්දසිරි සර්. මගේ නැන්ද මාව ගිහින් බාර දුන්නේ සර්ට. සර් මිය යන තුරුම මාව රැක බලා ගත්තා. ඊට පස්සේ මගේ පුහුණුකරු වුනේ ජයන්ත ජයවීර සර්. පාසලේ විදුහල්පති ජගත් සේනාරත්න සර්. ඔවුන් දෙදෙනා තමයි මගේ ක්‍රිකට් ජීවිතයට විශාල අත්වැලක් වුනේ. ඔවුන් වෙනුවෙන් පාසල් ක්‍රිකට් වාරයක් තුළ කඩුලු 100ක් ලබා ගැනීමේ ආසාවක් තිබුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් සහ ආබාධිත තත්ත්වයට ලක් වීමත් නිසා ඒ බලාපොරෝත්තුව ඉෂ්ට කරන්න බැරි වුනා. නමුත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් පාසලට ගෞරවයක් අත් කර දීමට ලැබීම ගැන සතුටු වෙනවා” නිපුන් පවසනවා. 

තවත් විශේෂාංග ලිපි:

මේ වන විට නිපුන්ගේ ක්‍රිකට් නවාතැන වී ඇත්තේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය. ඔවුන් සමඟ එක් වී 2019 වසරේ දී නිමා වූ නැගී එන කණ්ඩායම් අතර තුන් දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් වෙනවා. එහි දී අවසන් තරගයේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 28කට කඩුලු 4ක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 16කට කඩුලු 2ක් ද දවා ගන්නවා. 

ඒ වගේම මේ වන විට අවසන් අදියරේ පවතින වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ ද කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර නිපුන් එහි ද ප්‍රබල සාමාජිකයෙක්. 

එමෙන්ම ඒ අතර කාලයේ දී Red Bull කුසලාන ලෝක විශ්වවිද්‍යාල විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ICBT විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට ද නිපුන් සමත් වුනා. වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ MAS යුනිචෙලා කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට ද ඔහු සමත් වුනා.

“ක්‍රිකට් කියන්නෙ මගේ ජීවිතය. අම්බලන්ගොඩින් කොළඹ එනකොට මම අරගෙන ආවේ දක්ෂතාව විතරයි. නමුත් මේ වන විට මට ක්‍රිකට් නිසා බොහෝ දේවල් ලැබිල තිබෙනවා. මට හිතෙන්නේ මට ජීවිතය ලැබුනෙත් ක්‍රිකට් නිසා කියලා. ඒක ආරක්ෂා කර ගන්න උපරිම උත්සාහ කරනවා. මේ සෑම තැනකම බොහෝ දෙනෙක් හිටියා. චමින්ද වාස් සර් විශේෂයෙන් ම මතක් කරන්න ඕන. සර් තමයි මම ඉන්න තත්ත්වයට ගේන්න ගොඩක් උදව් කළේ. ඒ වගේම රවින්ද්‍ර පුෂ්පකුමාර සර් ද ගොඩක් උදව් කළා. 

මගේ පාසලේ විදුහල්පතිතුමා, පුහුණුකරුවන්, ගුරුවරුන් වගේම සියලුම පාසල් ප්‍රජාව ද මගේ දක්ෂතා සමඟ හිටියා. කොච්චර අඩු-පාඩු තිබුනත් මේ ගමන යන්න තල්ලු කළ මගේ අම්මා, තාත්තා, අක්කා, විශේෂයෙන්ම නැන්දා මතක් කරන්න ඕන. පවුලේ ඥාතීන් ද ඒ අතර ඉන්නවා. ඔවුන්ට ද ස්තුතිය පුද කරනවා” නිපුන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් ක්‍රිකට් ලොව ජය ගන්නට පෙරුම් පුරන මේ යොවුන් ක්‍රීඩකයාට ThePapare.com හී සුබ පැතුම්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<