කැෂුවල් ලයින් සහ කැන්රිච්, වෙළඳසේවා සුපර් ලීග් ශූරතාවන් ලබා ගනී

474

වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ චැම්පියන්ස් කාණ්ඩයේ පිරිමි ශූරතාවය දිනාගත් බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව කණ්ඩායම ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයෙන් තරග වදිනා කැන්රිච් ක්‍රීඩකයින් සහ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයින් ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් කැන්රිච් ෆිනැන්ස් කණ්ඩායම ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයෙන් තරග වදිනා කැෂුවල් ලයින් සහ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන් ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ ශූරතාවය දිනාගත් MAS කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් ©ThePapare.com

ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද, වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ සුපර් ලීග් සහ චැම්පියන්ස් කාණ්ඩයේ අවසන් මහා තරඟ අද (27) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. එහිදී පිරිමි අංශයේ ශූරතාවන් පිළිවෙලින් කැන්රිච් වොලිබෝල් කණ්ඩායම සහ බ්‍රැන්ඩික්ස්-පොළොන්නරුව යන කණ්ඩායම් විසින් දිනා ගනු ලැබූ අතර කාන්තා අංශයේ ශූරතාවන් හිමිකරගත්තේ MAS කැෂුවල් ලයින් සහ MAS ඉන්ටිමේට්ස් යන කණ්ඩායම්ය.

පසුගිය ලිපි: බ්‍රැන්ඩික්ස් සහ ඔමේගා ලයින් ශූරතාවයන් දිනයි

සුපර් ලීග් වටයේ කාන්තා අවසන් තරඟය.

ඊයේ (26) සන්ධ්‍යා භාගයේදී තම කුළුඳුල් ජාතික ශූරතා අවසන් තරඟය සඳහා තරඟ වැද ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරයට ලක්වූ කැෂුවල් ලයින් කාන්තා වොලිබෝල් කණ්ඩායම, අද දින ඒ අඳුරු මතකය පසෙක ලා වෙළඳසේවා ශූරියන් වීමේ තිර අදිටනින් පිටියට පැමිණියේය. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බ්‍රැන්ඩික්ස් ග්‍රීන් පොයින්ට් කණ්ඩායමයි.

තරඟයේ ප්‍රථම වටය ආරම්භයේදීම කැෂුවල් ලයින් ක්‍රීඩිකා සචිනි නිමන්තිකා තම උස මැනවින් යොදාගනිමින් පන්දු පිරිනැමීම් කිහිපයකදී ලකුණු උපයා ගත්තේය. ඒ පසෙකින් තමාට ලැබෙන සෑම උස පන්දුවකටම වැරෙන් පහරදෙමින් බ්‍රැන්ඩික්ස් කණ්ඩායම අසරණ කරන්නට සමත් වූයේ තක්ෂිලා මධුරංගි යි. එම වටය 25-12ක් ලෙස පහසුවෙන් ජයගන්නට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන්ට හැකිවිය.

දෙවන වටය තුළද තම වේගවත් ප්‍රහාරයන්ගේ ආධිපත්‍ය පිටිය තුළ පැතිරවූ තක්ෂිලා මධුරංගිව වළකාලන්නට බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන්ට නොහැකි විය. එය තවත් තීව්‍ර කරමින් නිසනිකා සඳමාලි, අලංකාර පන්දු සැකසුම් නිමවූවාය. එම තරඟ වටයත් 25-10ක් ලෙස පහසුවෙන්ම අවසන් කළේ කැෂුවල් ලයින් කණ්ඩායමයි.

තරඟයේ තෙවන වටයේදී බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන් තරඟයට තම ජවය එක්කරන ලදී. දිගු රැලි කිහිපයක්ම මේ වටයේදී දැකගත හැකිවිය. හදිසියේම කැෂුවල් ලයින් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකා තක්ෂිලා ආබාධයකට ලක්වීමත් සමඟ, ඈ නොමැතිව තරඟ වටය ජයගැනීමේ අභියෝගය සෙසු ක්‍රීඩිකාවන් වෙත පැවරුණු අතර තක්ෂිලාගේ අඩුවෙන් පන්නරය ලද බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන් එම වටය තමා සතුකරගත්තේය. ලකුණු තත්වය වූයේ 25-21කි.

මීළඟ වටය කෙසේවේදැයි යන සැකය දුරුකරමින් පහසුවෙන් ඊට අවතීර්ණ වූ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් හමුවේ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන් පසුබැසි අතර ඔවුන්ගෙන් වැරදි කිහිපයක්ම සිදුවිය. ඒවායේ වාසිය තමා වෙත හරවාගත් කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් තරඟ වටය ජයගත්තේ 25-12ක් ලෙසය.

ඒ අනුව 25-12, 25-10, 21-25, 25-12ක් වශයෙන් තරඟය ජයගත් කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් නැවත වරක් වෙළඳ සේවා සුපර් ලීග් වොලිබෝල් රැජිණන් බවට පත්විය.

තරඟයෙන් අනතුරුව කැෂුවල් ලයින් පුහුණුකරු ආනන්ද වන්නිතිලක, ThePapare.com සමඟින් සිය අදහස් දැක්වීය.

මේ ළමයින්ගෙන් ජාතික ක්‍රීඩිකාවන් ඉන්නේ එක්කෙනයි (තක්ෂිලා ). නමුත් ඉදිරියේදී තවත් හොඳ ක්‍රීඩිකාවන් අපෙන් රටට බිහිවේවි. පෞද්ගලික ආයතනයක් හැටියට අපි හොඳ ආදර්ශයක් දීල තියනවා. අපිට කළ හැක්කේ මෙච්චරයි, නමුත් මේ ක්‍රීඩිකාවන් රැකබලාගැනීම ගැන බලධාරීන් උනන්දුවීම සිදුවිය යුතුයි. ආරක්ෂක සේවා වලට පමණක් නොවෙයි අපටත් දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකරන්න පුළුවන්.”

කැෂුවල් ලයින් නායිකා තක්ෂිලා මධුරංගි,

“හරිම සන්තෝසයි. අවසන් කොටසේදී මං නැතුව වුණත් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. පුහුණුකරුටත් උදව් කළ හැමටත් ස්තුතියි” යැයි පැවසුවේ සතුටු කඳුළු ගලන දෙනෙත් ඇතුවය.

සුපර් ලීග් පිරිමි අවසන් තරඟය.

පිරිමි අංශයෙන් වෙළඳසේවා සුපර් ලීග් කිරුල හඹායන්නට එක්වූයේ කැන්රිච් වොලිබෝල් කණ්ඩායමත්, බ්‍රැන්ඩික්ස් වොලිබෝල් කණ්ඩායමත්ය.

ප්‍රථම වටය කරට කර වටයක් වූ අතර ලකුණු තුනක පරතරයකින් එහි ජය ලබාගත්තේ බ්‍රැන්ඩික්ස් කණ්ඩායමයි.

දෙවන වටයේදී කැන්රිච් ක්‍රීඩකයන් තම සැඟවුණු කුසලතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූ අතර එහිදී ජය හිමිකරගත්තේ කැන්රිච් කණ්ඩායමයි. ඒ වෙනුවෙන් ඉශාන් විමර්ශන එල්ල කළ දැවැන්ත පහරවල් කිහිපයක්ම දායක විය. තියුණු වටයක් අවසානයේදී ලකුණු 29-27ක් ලෙස කැන්රිච් ජය හිමිකර ගත්තේය.

තෙවන වටයේදී ඉශාන් තවත් දරුණු වූ අතර ඔහුව නවතාගන්නට නොහැකි වූ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයන්ට එම වටයද පරාජය වීමට සිදුවිය.

සිව්වන වටයේදී බ්‍රැන්ඩික්ස් කණ්ඩායම වෙත පහර පිට පහර එල්ලකළ කැන්රිච් කණ්ඩායම එහි ජයද සමඟින් සමස්ත තරඟයේ ජය අත්කරගත්තේය.

තරඟය 25-22, 27-29, 14-25, 17-25ක් ලෙස ජයගත් කැන්රිච් කණ්ඩායම වෙළඳ සේවා වොලිබෝල් රජවරුන් ලෙස අභිෂේක ලැබීය.

කැන්රිච් කණ්ඩායමේ පුහුණුකරු චන්න ජයසේකර මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් කියාසිටියේ,

“මේ අත්දැකීම් අඩු කණ්ඩායමක්. ප්‍රථම වරටයි මේ ලීගයේ ක්‍රීඩා කළෙත්. මේ හැමෝම මුල්‍ය ආයතනයක වැඩකරන බුද්ධිමත් ළමයි. තව පොඩි පොඩි දේවල් ටිකක් හදාගන්න තියෙනවා.”යනුවෙනි.

වෙළඳ සේවා චැම්පියන්ස් කාණ්ඩයේ අවසන් තරඟද අද පැවැත්විණි.

එහිදී කාන්තා අංශයෙන් ශූරතාවය දිනාගත්තේ 25-19, 25-23, 25-20ක් ලෙස වෝග්ටෙක්ස් කණ්ඩායම පරාජය කළ MAS ඉන්ටිමේට්ස් කණ්ඩායමයි.

පිරිමි අංශයේ ශුරතාවය දිනාගත්තේ 25-20, 22-25, 25-22, 25-20ක් ලෙසින් කොර්ටෝල්ඩ්ස් ලංකා ආයතනය පරාජය කළ බ්‍රැන්ඩික්ස්-පොළොන්නරුව කණ්ඩායමයි.

වෙළඳ සේවා වොලිබෝල් සම්මාන සටහන.

චැම්පියන්ස් කාණ්ඩය

කාන්තා අංශය

  • හොඳම පන්දු සකසන්නිය – සොනාලි අනුෂ්කා (MAS ඉන්ටිමේට්ස්)
  • හොඳම ප්‍රහාරිකාව – කේ. ද. සිල්වා (MAS ඉන්ටිමේට්ස්)
  • දක්ෂතම ක්‍රීඩිකාව – රේණුකා නිල්මිණි  (MAS ඉන්ටිමේට්ස්)

පිරිමි අංශය

  • හොඳම පන්දු සකසන්නා – සුරේෂ් (බ්‍රැන්ඩික්ස්)
  • හොඳම ප්‍රහාරකයා – තිලිණ (කොර්ටෝල්ඩ්ස්)
  • දක්ෂතම ක්‍රීඩකයා – සුදේශ් (කොර්ටෝල්ඩ්ස්)

සුපර් ලීග් කාණ්ඩය

කාන්තා අංශය

  • හොඳම පන්දු සකසන්නිය – නිසනිකා සඳමාලි (කැෂුවල් ලයින්)
  • හොඳම ප්‍රහාරිකාව – අනුරිෂා චතුනි (කැෂුවල් ලයින්)
  • දක්ෂතම ක්‍රීඩිකාව – තක්ෂිලා මධුරංගි (කැෂුවල් ලයින්)

පිරිමි අංශය

  • හොඳම පන්දු සකසන්නා – පී. ආර්. වීරරත්න (කැන්රිච්)
  • හොඳම ප්‍රහාරකයා – ෂෙහාන් ආසිරි (බ්‍රැන්ඩික්ස්)
  • දක්ෂතම ක්‍රීඩකයා – ඉශාන් විමර්ශන (කැන්රිච්)

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට