අද දිනන්න අපිට අවශ්‍ය ආකල්ප වෙනසක් විතරයි – චාමික

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

286

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරාවටම අසීරුම තැන්වලින් පටන් ගෙන ජයග්‍රහණ ළඟා කර ගැනීමට සමත් වූ කණ්ඩායමක්.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මීට ටික කලකට පෙර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව දෙවැනි තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය සම කිරීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කළේ ද පළමු තරගයේ ලද පරාජයෙන් පසුව නැවත නැගී සිටිමින්.

මෙම සිදු වීම ඉන්පසුව පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ද සිදු වුනේ පළමු ටෙස්ට් පරාජය වී, දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ ජයත් සමඟින් තරගාවලිය සම කර ගැනීමෙන්.

මේ සියල්ලටම පසුව පසුගිය ආසියානු කුසලානයේ දී ද ශ්‍රී ලංකාව මුහුණ දුන් ආරම්භක තරගය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වී, පසුව මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කරමින් ආසියානු ශූරයින් ලෙස කිරුළු දැරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ පෙර සඳහන් කළ ආකාරයටමයි.

ප්‍රමාද වී, අසීරු අඩියක සිට තරගාවලි ආරම්භ කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම උපක්‍රමය බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල පවා යම් හාස්‍ය රසයකින් යුතුවම කතාබහට ලක් වන්නේ මෙම හේතුව නිසාවෙන්මයි.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා (16) නැමීබියාව ඉදිරියේ ලද ලකුණු 55ක පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර තරගාවලි ආරම්භය ඉතාම දුර්වල තැනකට පත් කිරීමට සමත් වී ඇත.

දැනට පවතින තත්වය අනූව මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් දෙකම පරාජය කළ යුතුයි.

නමුත් ආරම්භක තරගයේ ලද විශාල පරාජය නිසා ඔවුන්ට තම කාණ්ඩයේ අනෙක් තරගවල ප්‍රතිඵල ද බලපෑමක් එල්ල කරනු ඇත. එමෙන්ම වර්ෂාව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට යම් බලපෑමක් එල්ල කිරීමට ඉඩ පවතී.

“ඔයා දන්නවා අපි ඒ තරගය පැරදුණා, ඒ නිසා දැන් අපි කොහොම හරි ඊළඟ තරග දෙක දිනන්න ඕන. මොනවා වුනත් අපිට දිනන්නම වෙනවා.”

චාමික කරුණාරත්න අද (18) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැත්වෙන තරගය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියා.

“මම හිතන්නේ අපේ කොල්ලෝ හැමෝම මේ දේ දන්නවා, ඉදිරි තරග දෙකේ දී අපි 100%කටත් වඩා කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා.

 ඒ වගේම කණ්ඩායම් හතරම හොඳින් ක්‍රීඩා කරනවා, ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු තරගය පවා අවසන් පන්දුව වෙන තෙක්ම ඇදී ගියා.

අපි දන්නේ නැහැ මොනවා වේවි ද කියලා, මොකද මේ තරගවල නිතරම උද්‍යෝගකර සහ හාස්‍යජනක සිදු වීම් ඇති වෙන නිසා. ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු!

අපි කරන්න ඕන දේ තමයි නිවැරදි ආකල්ප සමඟ ක්‍රීඩා කිරීම, ඒ තමයි වැදගත්ම දේ.”

තව දුරටත් අදහස් දැක්වූ චාමික, නැමීබියාවට එරෙහිව ලද පරාජය මතකාවර්ජනය කළේ ප්‍රතිවාදී කණ්ඩායමේ දස්කම් අගය කරන අතරේම තම කණ්ඩායමේ අසාර්ථකත්වයත් පිළිගනිමිනුයි.

“එය අපේ නරක දවසක්, නැමීබියාව පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙනුත් ඉතා හොඳ දක්ෂතා දැක්වූවා. අපි එය පිළිගත යුතුයි. අප කළ යුත්තේ එදා තරගය දෙස නැවත හැරී බලමින් අප අතින් සිදු වූ වැරදි අඩුපාඩු සමාලෝචනය කර ගැනීමයි.

ඒ දේවල් බැරෑරුම් ලෙස සලකමින් ගනිමින් අපි මීළඟ තරග ක්‍රීඩා කළ යුතුයි. මොකද අපි මීට වඩා හොඳයි. අපි මීට වඩා ගොඩක් හොඳයි.”

එමෙන්ම මෙහි දී ආසියානු කුසලානය සහ මෙම පරාජයේ සමානකම ද පෙන්වා දුන් චාමික, මේ සිදු වීම් දෙකේ තත්වයන් එකිනෙකට වෙනස් බව ද විශේෂයෙන්ම සඳහන් කළා.

“ආසියානු කුසලානයේ දීත් අපි ඇෆ්ගනිස්තානයට එරෙහිව මුල් තරගය පරාජය වුනා, ඒත් ඊට පස්සේ සියලුම තරග ජයග්‍රහණය කළා. නමුත් අපි ඒ විදිහටම හිතන්නේ නැහැ මෙතන දී. ආසියානු කුසලානය දැන් අවසන්. ඒක ඉතිහාසයට අයිති දෙයක්. දැන් අපි ලෝක කුසලානය ගැන සිතිය යුතුයි. දැන් තත්වය වෙනස්, වෙනස් තැන් සහ වෙනස් රටවල්.

ක්‍රීඩාංගණයත් ගොඩක් වෙනස්, එක පැත්තක් මීටර 55, අනිත් පැත්ත 57යි. ඒ වගේම ඉස්සරහින් ගොඩක් දිගයි. ගොඩක් දේවල් වෙනස්, ඒ නිසා අපි සැලසුම් හදන්න ඕන, ඒ වගේම අපි හොඳින් ක්‍රීඩා කරන්න ඕන.”

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව බොහෝ දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ කළු අශ්වයා (dark horses) බවට අනාවැකි පළ කළා. මෙම පසුබෑමෙන් ගොඩ ආ හැකි නම්  තරගාවලියේ හොඳින් ඉදිරියට යෑමට අවශ්‍ය සියලුම පන්නයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සතු බව චාමික තව දුරටත් පවසා සිටියා.

“අපිට හැම දෙයක්ම තියෙනවා, අපි සතුව ප්‍රහාරාත්මක පිතිකරුවන් ඉන්නවා, තරගය පාලනය කල හැකි ක්‍රීඩකයින් ඉන්නවා. අපිට කල්පනාකාරීව මෙන්ම උපායශීලීව විවිධ විදිහේ දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයින්  පිරිසක් ඉන්නවා. අපේ පන්දු යවන්නන් සතුව වේගය තියෙනවා ඒ වගේම විවිධත්වයෙන් යුතු දඟපන්දු යවන්නන් ඉන්නවා. අපි කළ යුත්තේ තරගයට නිවැරදි ආකල්ප සමඟ පිවිසීමයි. ඒ තමයි වැදගත්ම දේ.“

අපිට විතරක්ම නෙවෙයි, අනිත් කණ්ඩායම්වලටත් ඒ දේ වැදගත්. නිවැරදි ආකල්ප එක්ක තරග බිමට පිවිසුනොත් ඕනැම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්,” යනුවෙන් චාමික පවසා සිටියා.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<