අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

659

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි. ආසන්න වසර කිහිපය පුරාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වූ Pretoriusගේ වම් කකුලේ මහපටැඟිල්ලේ ඇති වූ බිඳීමක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය ඔහුට අහිමී වී යන බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ Pretoriusගෙන් ඇති වූ අඩුව පිරවීමට Marco Jansenව තෝරාගෙන තිබෙනවා.

මීට පෙර Marco Jansen සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි අතර, දැන් තත්වය අනූව Jansen වෙනුවට Lizaad Williamsව අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉතා විශිෂ්ට දස්කම් දැක්වූ Pretorius එම තරගාවලිය නිමා කළේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා (සම) ලෙස කඩුලු 9ක් බිඳ හෙළමින් මෙන්ම, හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය අගය ලෙස 11.22ක අගයකුත් සටහන් කරමිනුයි.

ඒ අනුව Pretoriusගෙන් මෙවර හිස් වෙන දකුණු අප්‍රිකානු පන්දු බලඇණියේ අවසන් පන්දුවාර කිහිපය යැවීමේ (death-bowling) වගකීම තවමත් එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති Marco Jansen හට පැවරෙනු ඇත.

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේ තම ආරම්භක තරගය මූලික වටයේ දී B කාණ්ඩයේ පළමුවැනියා බවට පත් වෙන කණ්ඩායම සමඟ ඔක්තෝබර් 24 දින හෝබර්ට් හීදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට පළමුව දකුණු අප්‍රිකාව විසින් ඔක්තෝබර් 17 සහ 19 වැනි දින දෙකේ දී බ්‍රිස්බේන් හිදී නවසීලන්තය සහ බංග්ලාදේශය සමඟින් පුහුණු තරග දෙකක් ද ක්‍රීඩා කරනු ඇත.

මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය: Temba Bavuma (c), Quinton de Kock, Heinrich Klaasen, Reeza Hendricks, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Rillee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs, Marco Jansen.

අතිරේක: Bjorn Fortuin, Lizaad Williams, Andile Phehlukwayo.

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<