ශ්‍රී ලංකාව UAE සමඟ කොට උඩ සටනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

10465
Sri Lanka vs UAE Preview

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයේ දී ම නොසිතූ පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට (18) නැවත වතාවක් තම ශක්තිය උරගා බැලීමට Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයට පිවිසීමට නියමිතයි.

එහි දී ඔවුන් සමඟ තරගයට පිවිසෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමයි.

මේ වන විට මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරග පරාජය වී ඇති බැවින් සුපිරි 12 වටයේ අසුනක් වෙන්කර ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම වඩාත් වැදගත් වනු ඇත.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66ක පමණක් අත්දැකීම් ඇති UAE ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව සමඟ වූ තරග ඉතිහාසයේ තරග වදින්නේ දෙවැනි වතාවටයි. ඔවුනොවුන්ගේ පළමු හමුව සිදු වී මේ වන විට ගෙවී ඇති කාලය වසර 6ක්.

දෙරටේ ක්‍රීඩකයෝ පළමු වරට හමුවන්නේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේ දී. එහි දී UAE ක්‍රීඩකයෝ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී තම කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් ශ්‍රී ලංකාව හමු වෙනවා. එහි දී තියුණු තරගයකින් පසුව ඔවුන්ට ලකුණු 14ක පරාජයක් ලැබීමට සිදු වෙනවා.

එතැන් සිට UAE ක්‍රීඩකයෝ ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 52ක්. ඉන් තරග 27ක් ජයග්‍රාහී තරග බවට පත්වෙද්දී, තරග 25ක් පරාජිත තරග බවට පත් වෙනවා.

ඔවුන් අවසන් වරට සහභාගී වූ තරග 5න් ජයග්‍රහණය ලබා ඇත්තේ එක් තරගයක් පමණයි. ඒ සිංගප්පූරු කණ්ඩායමට එරෙහිවයි. හොංකොං කණ්ඩායම සමඟ එක් තරගයක් ද සහ බංග්ලාදේශයට ඉදිරියේ තරග දෙකක් ද පරාජය ලබන ඔවුන්, ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගය වූ නෙදර්ලන්තය ඉදිරියේ ද පරාජය වෙනවා. ඒ උණුසුමත් සමඟ ය මේ තරගය.

ශ්‍රී ලංකාව

නැමීබියාව හමුවේ ලත් පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව මේ වන සිටිනුයේ වඩාත් ව්‍යාකූල තත්ත්වයකයි. කුමකින් කුමක් සිදු වූවා දැයි සිතා ගැනීමේ නොහැකියාවත්, ICC පූර්ණකාලීන සාමාජිකත්වය හිමි රටක් එවැන්නක් හිමි නොවූ රටකට පරාජය වීමේ අපකීර්තියත් සහ ආසියානු ශූරයන් ලෙස අභිෂේක ලැබූ උණුසුමේ ම මෙවැනි පරාජයක් ලැබීමත් ඔවුන්ගේ ව්‍යාකූලත්වයට හේතු වනු නිසැකයි.

එහෙත් එපමණකින් සියල්ල නිමා නොවේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලානය තරගාවලිය ආරම්භ කළේ ද මෙවැනි ම වූ ආරම්භයකින් බැව් සිහිපත් කිරීම වටී. එදා සේ ම අද ද ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගත යුත්තේ ඔවුන්මයි. එය ශ්‍රී ලාංකිකයන්ගේ, උන්මත්තක ක්‍රිකට් සිහිනයන්ට පණ දීමක් කර ගත යුතුයි. ලැබූ පරාජය වඩාත් තරගකාරී මාවතකට පිවිසීමට ජවයක් කර ගත හැකි නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළ හැකියි.

ඒ ආරම්භයේ දී හෙට තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් ම සමන්විත වීමට බොහෝ දුරට ඉඩ තිබේ. නමුත් ලියුම්කරුගේ විශ්වාසය වන්නේ තවත් එක් පිතිකරුවෙක් එක් කර ගනිමින් තරගයට පිවිසීම වඩාත් වාසි සහගත බවයි.

ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණයේ අඩු දුරකින් යුත් වූ දෙපසෙහි පිහිටීමේ වාසිය ලබා ගැනීමට වැරෙන් පන්දුවට පහර දීමේ හැකියාවෙන් යුත් චරිත් අසලංක කණ්ඩායමට එක් කර ගන්නේ නම් සුදුසු යැයි හැඟේ. ඔහු කණ්ඩායමට එක් කර ගන්නේ නම් තිදෙනෙක්ගෙන් යුත් වේගපන්දු බල ඇණිය දෙදෙනෙක් දක්වා අඩු කිරීමට සිදු වෙනවා.

එසේ වුවහොත් දඟපන්දු යවන්නෙක් ලෙස ද උපයෝගී කර ගත හැකි චරිත් සමඟ දසුන් ශානකට ද පන්දු යවන්නෙක් ලෙසින් වැඩි වැඩ කොටසක් සිදු කිරීමට සිදු වෙනවා.

මේ කුමක් සිදු වූව ද, සිදු විය යුත්තේ ක්‍රීඩකයන් තම තමන්ගේ යුතුකම් වටහා ගනිමින් ක්‍රීඩා කිරීමයි. ලද අවස්ථාව නැවත වතාවක් නොලැබෙන බැවින් ඊට වඩාත් සූදානමින් මුහුණ දීමයි. එය මෙම තරගාවලියේ අවසන් අවස්ථාව ද විය හැකියි.

UAE සමඟ තරගයේ දී ක්‍රීඩා කරතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුශාන්/ දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ

UAE කණ්ඩායම

ශ්‍රී ලංකාව හා තරග බිමට පිවිසෙන UAE කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට සංක්‍රමණික ක්‍රීඩකයෝ වැඩි දෙනෙක් සහභාගී වීම අනිවාර්යයි. දැනටමත් ඔවුන් විසින් නම් කරන ලද 15 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමේ 9 දෙනෙක් ම විදෙස් සංක්‍රමණිකයෝ ය.

මෙවර ලෝක කුසලානයේ තමන් සහභාගී වූ පළමු තරගයේ දී තියුණු අවසානයක් ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායමට ලබා දීමට UAE ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා. ඔවුන් එම තරගය එක් පන්දුවක් තිබිය දී කඩුලු 3කින් පරාජය වූව ද සමස්තයක් ලෙස ගත් කළ ඔවුන්ගේ දක්ෂතාවන් ඉහළ මට්ටමක පැවති බැව් ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

විශේෂයෙන් ම පන්දු යවන්නන් අතරින් පාකිස්තානයේ උපත ලබමින් UAE කණ්ඩායම හා එක්ව සිටින දකුණතින් වේගපන්දු යවන Junaid Siddique, තරගය මනාව පාලනය කරමින් පන්දු යැවීම කැපී පෙනුණා. එමෙන් ම තවත් වේගපන්දු යවන්නෙක් වූ Zahoor Khan තම පන්දුවාර 4 ලකුණු 11කට සීමා කරමින් ප්‍රතිවාදීන් අමාරුවේ දැමීමට දැක්වූ දායකත්වයත් ප්‍රශංසනීයයි.

පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරු Muhammad Waseem දැක්වූ දායකත්වයත් අමතක කළ නොහැකි අතර පළමු තරගයේ දී නිද්‍රාශීලීව සිටි පිතිකරුවෝ අවධි වී වඩාත් සන්නද්ධව පිටියට පිවිසෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් හමුවේ දැඩි තරගකාරීත්වයකට යෑම වැළැක්විය නොහැකියි.

ශ්‍රී ලංකාව සමඟ තරග වදිතැයි අපේක්ෂිත UAE කණ්ඩායම: Chirag Suri, Muhammad Waseem, Kashif Daud, Vriitya Aravind (කඩුලු රකින්නා), Zawar Farid, Basil Hameed, Chundangapoyil Rizwn (නායක), Aayan Afzal Khan, Karthik Meiyappan, Junaid Siddique, Zahoor Khan

මෙම තරගය ශ්‍රී ලංකාවට සේ ම UAE කණ්ඩායමට ද එක සේ වැදගත් වන්නේ මේ වෙද්දී ඔවුන් තම තමන් මුහුණ දුන් පළමු තරග පරාජයට පත් වීම නිසයි. ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වෙන මෙම තරගය, එබැවින් ම වඩාත් තරගකාරී වනු ඇත.

එහි දී දසුන් ශානක සහ Chundangapoyil Rizwn අතර උරගා බැලෙන කාසියේ වාසිය ද ප්‍රබල සාධකයක් විය හැකියි. නිමා වූ තරගවල දී මේ නායකයන් දෙදෙනා ම කාසියේ වාසිය තමන් සන්තක කර ගත්ත ද තරගයේ වාසිය තම කණ්ඩායම්වලට ලබා ගැනීමට නොහැකි වූවා.

දසුන් ශානක කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ලකුණු හඹා යෑමේ ජයග්‍රහණයක් විශ්වාස කළ අතර Rizwn කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසය තැබුවා.

නමුත් දෙදෙනාට ම හිමි වූයේ එක ම විසඳුම. ඒ තරගයේ පරාජය. එබැවින් ඔවුන් දෙදෙනා මෙම තරගයේ දී කුමන තීරණයක් ගනී දැයි දැන් ම කැට තැබිය නොහැකියි.

ඒ ක්‍රීඩාංගණය වටා පරිසරයේ හැඩ ගැන්වීම ද කාසියේ වාසියේ තීරණය ප්‍රකාශ කිරීමට බලපෑ හැකි බැවිනි. කෙසේ වෙතත් මේ දක්වා ඕස්ට්‍රේලියා කාලගුණ තත්ත්වයන් අනාවරණය කරන්නේ තරගය පැවතෙන 18 වැනිදා බොහෝ දුරට පැහැදිලි ඉර එළිය සහිත දිනයක් උදා වෙනු ඇති බවයි.

එහි වාසිය ශ්‍රී ලංකාවට ද UAE කණ්ඩායමට ද? එය තීරණය වන්නේ ඔවුනොවුන් හෙට දිනයේ දී පන්දුවත් පිත්තත් හමුවේ සන්නද්ධ වන ආකාරයට ය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<