ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැති ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පන්දුවාර 49කට සීමා වී තිබූ අතර කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයන්ට ආරාධනා කළා.
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම
Mir Imran (නායක), Hassan Eisakhil, Khalid Taniwal, Bahir Shah, Ijaz Ahmad Ahmadzai, Mohammad Ishaq (කඩුලු රකින්නා), Farmanullah Safi, Abdollah Ahmadzai, Khalil Gurbaz, Mohammad Ibrahim, Zahir Khan.
ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායම
Tilak Varma (නායක), Prabhsimran Singh (කඩුලු රකින්නිය), Vaibhav Sooryavanshi, Priyansh Arya, Ruturaj Gaikwad, Ayush Badoni, Suryansh Shedge, Anukul Roy, Vipraj Nigam, Arshad Khan, Anshul Kamboj.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 349ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Prabhsimran Singh. ඔහු ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 84ක් ලබා ගන්නවා.
ඔහු සමඟින් ඉනිම ආරම්භ කළ Vaibhav Sooryavanshi පළමු කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කරනවා. පළමු තරගයේ දී අසාර්ථක පිතිකරුවෙක් වූව ද මෙම තරගයේ දී පන්දු 22ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 44ක් ලබා ගැනීමට Vaibhav Sooryavanshi සමත් වෙනවා.
ඔවුන්ට අමතර ව Ruturaj Gaikwad පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 66ක් ද සහ නායක Tilak Varma පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් ද සහ Suryansh Shedge පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Abdollah Ahmadzai ලකුණු 68කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Farmanullah Safi කඩුලු 3ක් ද සහ Imran Mir කඩුල්ලක් ද දවා ගන්නවා.
- ඉන්දීය A ක්‍රිකට් ක්‍රීඩකයෝ පළමු තරගය ජය ගනී
- 2026-27 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව නිකුත් වෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව තේරීම් කමිටුවක්
- 2026 LPL වෙනුවෙන් ගාල්ල වෙනස් මුහුණුවරකින්
- කවිඳු, සදීර සහ චමෝද් සම්මානයට පත් NSL තරගාවලිය
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 25.5ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එතැකින් නතර කරද්දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා සිටියා.
එම ඉනිම එතෙකින් අවසන් වෙද්දී නායක Imran Mir පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටියා. ඊට අමතර ව Bahir Shah පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 99ක දී නොදැවුණ ලකුණු 108ක සබඳතාවක් ද එක් කරනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Hassan Eisakhil පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Anukul Roy සහ Arshad Khan කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියන්A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 349 (49.0) Prabhsimran Singh 84, Vaibhav Sooryavanshi 44, Ruturaj Gaikwad 66, Tilak Varma 66, Suryansh Shedge 40, Abdollah Ahmadzai 5/68, Farmanullah Safi 3/85
- ඇෆ්ගනිස්තානA ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 177 (25.5) Imran Mir නොදැවී 75, Hassan Eisakhil 34, Bahir Shah නොදැවී 51
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයක්.
තරගයේ වීරයා – Imran Mir (ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම)
තරගාවලියේ 3 වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 13 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















