Stockholm Diamond ලීගයේ දී යුපුන් පළමු 4 අතරට

Stockholm Diamond League 2022

7603
Yupun Abeykoon

ස්විස්ටර්ලන්තයේ පැවති Stockholm Diamond League 2022 තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරගය සිව්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ පැවති මෙම තරගයේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් එම තරගය නිමා කිරීමට තත්පර 10.21ක කාලයක් ගත කළ අතර තරගය පැවති වෙලාවේ සුළඟේ වේගය දැක්වුණේ -0.5ක් ලෙසයි.

යුපුන් මෑත කාලයේ වාර්තා කළ දක්ෂතා සමඟ සංසන්දනය කරන විට මෙය තරමක මන්දගාමී කාලයක් වන අතර ඔහු තරගය ආරම්භයේ දී තරමක පසුබෑමකට ලක්වනු දක්නට ලැබුණා.

එම පසුබෑමෙන් නිසාවෙන් ඔහුට මෙම තරගයේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමේ අවස්ථාව අහිමි වූ අතර ලෝකඩ පදක්කම දිනා ගත් Jimmy Vicautගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10.19ක් ලෙසයි.

මෙම තරගයේ පළමු ස්ථානය තත්පර 10.02ක කාලයකින් ඉසව්ව අවසන් කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Akani Simbine විසින් දිනා ගනිද්දී, තත්පර 10.15ක කාලයකින් ඉසව්ව අවසන් කළ Reece Prescod දෙවැනි ස්ථානය දිනා ගත්තා.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය තත්පර 10.06ක් වන අතර ඔහු සුළඟේ වාසිය පැවති අවස්ථාවක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.04ක කාලයකින් අවසන් කරන්නට ද සමත් වුනා.

මෙම තරග වාරයේ දී ඔහු දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා ලෝක ශ්‍රේණිගත කිරීම් හී 42 වැන්නා බවට පත් වෙමින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<