ICCයේ ඔලිම්පික් බලාපොරොත්තුව ඉන්දියාව මත තබයි

LA28

1086

2028 වසරේ ඇමරිකාවේ Los Angeles හිදි පැවැත්වීමට නියමිත LA28 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට උත්ප්‍රෙරණයක් ලෙස ඉන්දීය ක්‍රිකට් වෙළඳපොළ තුල හුවමාරු වන මුදල් කන්දරාව පාවිච්චි කිරීමට ICCය විසින් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වනවා.

ICCය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලිය වෙත ඇතුළත් කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටින අතර එහි තවත් උත්සාහයක් ලෙසයි ඔවුන් විසින් ඉන්දීය ක්‍රිකට් තුල හුවමාරු වන මුදල් ප්‍රමාණය දෙස IOCයේ (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ) අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ.

“ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩා කළහොත් IOC වෙත ඉන්දියාවෙන් ලැබෙන මාධ්‍ය අයිතිවාසිකම් ආදායම ඩොලර් මිලියන 130 සිට 260 දක්වා අගයක් කරා ඉහළ යාමට අවස්ථාව ඇතැයි ICCය විසින් තර්ක කරනවා,” ICC පාර්ශවයේ මූලාශ්‍රයක් විසින් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඉන්දීය විකාශන අයිතිය වෙනුවෙන් Viacom 18 රූපවාහිනී ආයතනය සමඟ IOC විසින් ඇති කර ගෙන ඇති ගිවිසුම ඩොලර් මිලියන 31ක් පමණ වටිනාකමක් දරන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

එමෙන් ම IPL සහ ICC තරගාවලි වල විකාශන අයිතීන් ද මෑත කාලයේ ඉතා ශීඝ්‍රයෙන් (ආසන්න වශයෙන් තුන්-හතර ගුණයකින්) ඉහළ ගොස් ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.

එම නිසා ICCය විසින් සිය ඔලිම්පික් යෝජනාව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආදරය රුකුලක් කර ගැනීමට උත්සාහ දරනවා.

“අපට ගෝලීය වශයෙන් බිලියන ගණනක රසික ප්‍රජාවක් ඉන්නවා, ඉන් 90%කට පමණ ඔලිම්පික් උළෙලක ක්‍රිකට් තරග පවත්වනවා බැලීමට අවශ්‍යයි.”

ICC සභාපති Greg Barclay විසින් එසේ පවසමින් තවදුරටත් අවධාරණය කර තිබුණේ එම ක්‍රිකට් රසිකයින්ගෙන් 92%ක් පමණ දකුණු ආසියානුවන් බවයි.

මීට පෙර විශ්වාස කළ අයුරින් 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් වුනත්, පසුව BCCI ලේකම් ධුරය හොබවන Jay Shahව ICCයේ ඔලිම්පික් ක්‍රියාකාරී කණ්ඩායමට ඇතුළත් වීම සමඟ තත්වය තරමක් වෙනස් වීමට පටන් ගත්තා.

එමෙන් ම පසුගිය සතියේ ඉන්දියාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති සහ හිටපු Los Angeles නගරාධිපති ලෙස කටයුතු කළ Eric Garcetti සහ Jay Shah විසින් අහමදාබාද් හිදි IPL තරගයක් ද නරඹා තිබෙනවා.

ඉන්පසුව Garcetti විසින් පවසා තිබුණේ LA28ට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එක්සත් ජනපදය උනන්දු වන බවයි.

එමෙන් ම ඔලිම්පික් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ප්‍රමාණය පහත දැමීමට IOCය විසින් උත්සාහ දරමින් සිටින නිසා ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් වෙත ඇතුළත් වුනත් ඒ සඳහා ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 6ක් දක්වා සීමා වනු ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ අවසන් තීරණයක් මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී මුම්බායි හි පැවැත්වීමට නියමිත IOC සැසියේ දී ගැනීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<